හෙට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට දඩුවම් කිරීමේ යෝජනාවක්

732

උතුර නැඟෙනහිරින් හමුදාව ඉවත් කරනු
කොළඹ කොටි ආයුධ ගබඩාවේ ප්‍රධානි  මොරිස් නිදහස්
ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමේ යෝජනාවට

ආරක්ෂක මණ්ඩලයේ සහාය ගන්න – ද්‍රවිඩ මන්ත්‍රීවරු ඉල්ලති

ජිනීවා 51 වැනි මානව හිමිකම් සමුළුව හෙට (සැප්තැම්බර් 12 දා ආරම්භ වේ. එහෙත් මෙරට ජනතාව ජිනීවාහි සිදුවන්නේ කුමක්දැයි නොදනී. සමුළුව ආරම්භ වීමට දින කීපයක් තිබියදී යුරෝපයේ සිට ජිනීවා පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ත්‍රස්ත මර්දන පනත අකුළා ගනු යැයි කියමින් කකුල් තුනේ පුටුව ඉදිරියේ කෑගැසූහ. මේ වසර ගණනක් තිස්සේ කොටි සංවිධානයට එරෙහිව හඬ නැඟූ දේශප්‍රේමීන් නොවේ. ගාලු මුවදොර විරෝධතාවට සම්බන්ධ වූවන් ත්‍රස්ත මර්දන පනත යටතේ රජය අත්අඩංගුවට ගත් බව දක්වමින් එම ශ්‍රී ලාංකිකයන් මෙලෙස විරෝධතා දැක්වූහ. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ අංක 1560 දරන යෝජනාව යටතේයි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා, තමිල් මක්කල් කුටානි පක්ෂයේ නායක සී.වී. විග්නේශ්වරන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලානන්දන්, ඊ. පී. ආර්. එල්. නායක, සුරේෂ් ප්‍රේමචන්දන්, ද්‍රවිඩ සන්ධානයේ එස් ශ්‍රීධරන් සහ ටී. එම්. කරුණාකරන් ද ප්ලොට් නායක සිද්ධාර්තන් ද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත හදිසි සංදේශයක් යවමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා දැඩි යෝජනාවක් ගෙන එන ලෙසත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කටයුතු කළ යුතු බවත් ඉල්ලීමක් කළහ. මෙරට ජනතාවගේ බදුවලින් වැටුප් ඇතුළු තීරු බදු රහිත වාහන පවා ලබා ගන්නා මේ ද්‍රවිඩ දේශපාලකයන්ගේ ඉල්ලීමට එරෙහි වීමට පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙක් ක්‍රියා නොකිරීම ඛේදනීය කරුණකි.

ශ්‍රී ලංකාව සහ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමට කැසකවන මොවුන් එකෙකුවත් කොටි යුද අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණයට යොමු කර යුතු බව පවසන්නේ නැත. මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර ශ්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණයට යොමු කළ යුතු බව කියා සිටියා ය. එහෙත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඊට එරෙහි නොවූ අතර ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට අභියෝග කිරීමට පවා ක්‍රියා නොකළේ අඥාන උපදේශකයන් කියා ය. මේ පසුබිම මැද 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, මලාවි, මැසිඩෝනියා, බි්‍රතාන්‍යය සහ මොන්ටිනිග්රෝ යන රටවල් ලබන සතියේදී නැවත ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ ආසියානු නියෝජිත රෝරි මුන්ගෝවන් හයිබි්‍රඩ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස රජයට කියා සිටියත් ව්‍යවස්ථාවෙන් ඊට ඉඩක් නැතැයි පැවසු රජය එම ඉල්ලීම ඉවත දැමීය.

එවන් වාතාවරණයක් මැද රජය මේ 2 වැනි ජිනීවා යෝජනාවට එකඟ වේද? පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුවොත් නිෂේධ බලය ඇති රටක් ඊට එරෙහි නොවන බවට ප්‍රකාශ කර නැතැයි කියා සිටී. එහෙත් රුසියාව සහ චීනය ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇත.

මේ අතර 2004 ඔක්තෝබර් මස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් අංක 1560 දරන යෝජනාව සම්මත කළ අතර මෙරට ජනතාව ඒ ගැන අවධානය යොමුකර නො තිබුණි. මේ යෝජනාවෙන් කියා සිටියේ ත්‍රස්තවාදී ක්‍රියා යනු අපරාධකාරී ක්‍රියාමෙන්ම සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන මරණ හා තුවාල සිදුකිරීම, ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගැනීම ද ජනතාව තර්ජනයට ලක්කිරීම වැනි ක්‍රියාදාමයන්ට සමාන බවයි.

ආරක්‍ෂක මණ්ඩලය තවදුරටත් දක්වා සිටියේ එවැනි ක්‍රියා කිසිවිටකත් දේශපාලනික ජනවාර්ගික ආගමික හෝ වෙනත් ස්වභාවයේ කටයුතු ලෙස සාධාරණීයකරණය කළ නොහැකි බවයි. 2006 ජනවාරි මස එක්සත් ජාතීන්ගේ මහා සභාව 60/43 යෝජනාව ඉදිරිපත් කරමින් එම ත්‍රස්ත ක්‍රියා දේශපාලන හේතු මත සිදුකරන්නක් නොවන බව පළ කළේය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා පොලිසිය මෙරට ඉතිහාසයේ මුල්වරට එක්සත් ජාතීන්ගේ 1566 යෝජනාව ප්‍රයෝජනයට ගනු ලැබුවේ ආණ්ඩු පෙරළීම, ගෙවල් ගිනිතැබීම, පාර්ලිමේන්තුවට ගිනි තැබීමට උත්සාහ කිරීම, රාජ්‍ය ආයතනවලට හානි සිදුකිරීම, එම රාජ්‍ය ආයතනවල දේපළ සොරාගැනීම ඇතුළු කලහකාරී ක්‍රියා සිදුකළ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමටය.

එම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනාවේ වගන්ති මත සිදුවීම් රැසකට සම්බන්ධ පාර්ශ්ව අත්අඩංගුවට ගැනුණි. එහෙත් පසුගියදා ඇතිවූ විවිධ සිදුවීම්වලට සම්බන්ධවූ පුද්ගලයන් එවන් යෝජනාවක් සම්මත වී ඇති බව දැනසිටියේ නැත. ඔවුන් සිතුවේ පොලිසිය ත්‍රස්ත මර්දන පනත උපයෝගි කරගෙන අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි. මෙරට හිටපු නීතිපති සිවා පසුපති කෙටුම්පත් කළ ත්‍රස්ත මර්දන පනත යටතේ කොටි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනුණ අතර එම පනත දිගට ම ක්‍රියාත්මක විය. මේ ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස ද්‍රවිඩ සන්ධානය සහ රාජ්‍ය නොවන සංවිධාන හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමයේ විශාල ප්‍රචාරයක් ගෙනගිය අතර ද්‍රවිඩ සන්ධාන නායකයන් එක්සත් ජාතීන්ගේ අංක 1566 දරන යෝජනාව ගැන උතුරේ ජනතාවට පැවසුවේ නැත.

ඊට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ යෝජනාව අහෝසි කිරීමට ද්‍රවිඩ සන්ධානයට හෝ රාජ්‍ය නොවන සංවිධානවලට හැකියාවක් නො තිබීමයි.

මෙවන් පසුබිම මැද වත්මන් රජය පසුගියදා ඇතිවූ සිදුවීම් නිරීක්‍ෂණයට ලක්කෙරුණි. එම සිදුවීම් මෙසේය.

1. අරලියගහ මැඳුරේ ඉපැරණි පිත්තල බඩු සොරා ගැනීම

2. ජනපති මැඳුරේ තිබූ විවිධ සිතුවම්වලට හානි සිදුකිරීම

3. ජනපති මැඳුර සහ අරලියගහ මැඳුර නීතිවිරෝධීව අල්ලා ගැනීම

4. ජනපති මැඳුරට කඩාවැදී එහි දේපළවලට හානි සිදුකිරීම

5. වාහනවලට ගිනි තැබීම, පිළියන්දල නිවාස කිහිපයක් ගිනිතබා වැනසීම

6. ජනපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම

7. ජනපති මැඳුරේ කෞතුක භාණ්ඩ අතුරුදන්වීම

8. ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළුවීම

9. ගාලු මුවදොර පිටියට හානි සිදුකිරීම

ගාලු මුවදොර සිදුවීම්වලට සමානව 2021 ජනවාරි 6 වැනිදා හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ කැපිටල් හිල්  ගොඩනැඟිල්ලට කඩාවැදී රාජ්‍ය දේපළවලට විනාශයක් සිදුකරනු ලැබූහ. එම විරෝධතාකරුවෝ ෆේස්බුක් අඩවියේ තම ඡායාරූප පළකිරීම් ප්‍රතිඵලය වූයේ එෆ් බී අයි පොලිසියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිවීමයි. කැපිටල් හිල් හෙවත් එරට ඇමරිකානු පාර්ලිමේන්තුවට කඩාවැදුණු විරෝධතාකරුවන්ට ජෝ බයිඩන් රජය සමාව දුන්නේ නැත. එෆ් බී අයි පොලිසිය, අධිකරණය සහ රජය නීතිය අකුරට ම ක්‍රියාත්මක කළහ. විරෝධතාකරුවන් 856ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර එක් විරෝධතාකරුවකු අසුවූයේ ඔහුගේ බිරිය ෆේස්බුක් ඡායාරූපයක් පළකරමින් තම සැමියා කැපිටල් හිල් ගොඩනැඟිල්ල ඇතුළේ සිටින බවට මිතුරන් වෙත හෙළි කිරීමෙනි. අත්අඩංගුවට ගනු ලැබූ විරෝධතාකරුවකුවූ ගයි රෙන්ටින්ට විනිසුරු ඩැෆ්නි ෆෙඩ්රිඩ් වසර 7 ක සිරදඬුවමක් නියම කර නුඹලා දියත්කළේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ යැයි පැවසුවා ය. මෙම විරෝධතාකරුවන්ගෙන් 313ක් තමන් කළ වරද පිළිගනු ලැබූහ.

කැපිටල්හිල් සිද්ධියට සමානව ගාලු මුවදොර ක්‍රියාදාමය සිදුවන අවස්ථාවේ අරගලකරුවෝ යැයි හඳුන්වාගත් පාර්ශ්ව, ජපානය මෙරටට පරිත්‍යාග කළ මුහුණු හඳුනාගැනීමේ අධිතාක්‍ෂණික රියක් කොළඹ නගරයේ සැරිසරන බව දැනසිටියේ නැත. එසේම පොලිස් මූලස්ථානය සමග සම්බන්ධවන CCTV දර්ශන සහිත වීඩියෝ ජාලයක් ද ක්‍රියාත්මක විය. සිය මුහුණු පොත්වලට තම ඡායාරූප යැවීමට ද අරගලකරුවෝ ක්‍රියාකළහ. ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ෆේස්බුක් ජාලයේ සටහන් වන ඡායාරූප මකාදමනු ලැබුවත් එහි රූප සටහන් යළි මතුකර ගැනීමේ තාක්‍ෂණය ඇමරිකානු එෆ් බී අයි පොලිසියට ඇත. වත්මන් රජය මකා දැමූ ඡායාරූප යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සඳහා එෆ් බී අයි පොලිසියේ සහාය පතා තිබේ.

මේ අතර මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චුන් කැපිටල් හිල් සිද්ධියේ වගකිවයුත්තන්ට එරෙහිව එරට අධිකරණය ගත් ක්‍රියාමාර්ග මෙරට ජනතාවගෙන් වසංකර ගාලු මුවදොර හොරකම්වල යෙදුණු ප්‍රචණ්ඩකාරීන් බේරාගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. ඇයට වැරදුණේ රජය ත්‍රස්ත මර්දන පනත වෙනුවට එක්සත් ජාතීන්ගේ 1566 දරන ආරක්‍ෂක මණ්ඩල යෝජනාව අනුව ක්‍රියාකිරීමයි. මේ වනවිට රජය එක්සත් ජාතීන්ගේ එකී සමස්ත යෝජනාව සහ එකී අඩංගු කරුණු ඇතුළත් වාර්තාව ගෙන්වා ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් වූයේ පොලිසිය එම යෝජනාව මත අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව අනාවරණය කිරීමයි.

මේ අතර යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවේ කටයුතුවලට බරපතළ ලෙස මැදිහත්වන බව අනාවරණය වී ඇත. මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චුන් සිය ටුවිටර් පණිවුඩවලින් සතිපතාම එලෙස දේශපාලන කටයුතුවලට මැදිහත්වේ. මේ බව වත්මන් රජයට වාර්තාවුවත් කළ හැකි දෙයක් නැතැයි ඉහළපෙළේ ආරංචි මාර්ග කියා සිටී.

මෙවන් පසුබිමක් මැද කොටි හිතවාදී පර්ල් සංවිධානය සහ බි්‍රතාන්‍ය මන්ත්‍රී එලියට් කොල්බන් හිටපු ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුගේ තානාපති ගමන් බලපත්‍රය තහනම් කරන ලෙසත් සිංගප්පූර් රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. මෙයට හේතුවූයේ ගෝඨාභය සිංගප්පූර් නීතිරීති උල්ලංඝනය නො කිරීමයි.

මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ 51 වැනි මානව හිමිකම් සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කළාය. එහි ප්‍රධාන කරනු මෙසේය.

1. උතුරු නැඟෙනහිරින් හමුදාව ඉවත් කරනු -හමුදා වැය ශිර්ෂය අඩු කරනු

2. ආරක්ෂක හමුදාව ප්‍රතික්ෂේපකරණය කරනු

3. සංක්‍රාන්ති අධිකරණය ස්ථාපිතය කරනු

4. චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට සම්බාධක පනවනු

5. මුක්තිය ඉවත් කරනු

6. ජාත්‍යන්තර සහාය මත වගවීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු

7. ත්‍රස්ත මර්දන පනත අහෝසි කරනු

මිචෙලි බැෂලේ සිය වාර්තාවෙන් මෙරට දේශපාලන කටයුතුවලට ඍජුව මැදිහත් වී ඇත. එසේම ඇය තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පත්වී ඇති බවයි. මේ පසුබිම මැද විදේශ ඇමති අලි සබ්‍රි පැවසුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ප්‍රතික්ෂේප කරන බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment