විදුලි සෝපානය කඩාවැටී අනතුරට පත්ව හිටපු ඇමැති පී.එම්.බී. සිරිල් මියයයි

615

හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු මෙන්ම දිසා ඇමතිවරයකු ද වූ වෛද්‍ය පී. එම්. බී. සිරිල් මහතා හම්බන්තොට නිවසේ ඉදිකිරීමක් පිරික්සීමට යෑමේදී එහි විදුලි සෝපානය කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

සිරිල් මහතා තම රියැදුරු ද සමග විදුලි සෝපානයේ නැගී ගමන් කරද්දී එය කඩාවැටී අනතුරට පත්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මරණයට පත්වී තිබේ. සිරිල් මහතාගේ රියැදුරු බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර තිබේ.

මිය යන විට 90 වැනි වියේ පසු වූ සිරිල් මහතා 1965 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එක්විය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් 1977 මහා මැතිවරණයට තරග කළ සිරිල් මහතා එහිදී තිස්සමහාරාම ආසනයට එජාපයෙන් තරග කොට වැඩි ඡන්ද 7,770 කින් ජයග්‍රහණය කළේය. ඔහු සමග එම ආසනයට තරග කළ ලක්‍ෂ්මන් රාජපක්ෂ (ශ්‍රීලනිප) ඡන්ද 13,109 ක්ද, ටෙනිසන් එදිරිසූරිය ඡන්ද 5,206 ක්ද ලැබූහ. නොකඩවා එවක එජාපය තිස්සමහාරාමයේ බලය ලබාදීමට මුල්වූ දේශපාලකයන් අතර පෙරමුණේ සිටි සිරිල් මහතා 1982 ජනාධිපතිවරණයේදී ඡන්ද 25,656 ක්ද, 1982 ජනමත විචාරණයේදී ඡන්ද 21,373 ක් (ලාම්පුව) ට ලබාදීමට පුරෝගාමී විය. ඒ මහතා කලක් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මෙන්ම හම්බන්තොට දිසා ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.
නෝමන් පලිහවඩන, මත්තල – දිලිප් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment