මහ ජාවාරමුන්ගේ කුඩු සල්ලි රැස්කළ පිටකොටුවේ උණ්ඩියල් මුදලාලිලාට වැඩ වරදී

542

අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රධානම පෙළ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක් කටා, කුඩු සලිඳු සහ ගණේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ රුපියල් කෝටි ගණනක මුදල් සංසරණයට සම්බන්ධ පිටකොටුවේ ප්‍රධාන පෙළේ උණ්ඩියල් ව්‍යාපාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒකාබද්ධ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම උණ්ඩියල් ව්‍යාපාරිකයන් පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර ඉදිරි දිනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉපයූ රුපියල් බිලියන ගණනක මුදල් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගෙන ඇත්තේ පිටකොටුවේ උණ්ඩියල් ක්‍රමයට මුදල් සංසරණය කරන මෙම ව්‍යාපාරිකයන් හරහා බව ද හෙළි වී ඇත.

හරක්කටා, කුඩු සලිඳු සහ ගණේමුල්ලේ සංජීව වසර ගණනක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ සැඟ වී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ අතර හරක් කටා පමණක් වසර දෙකක් තුළ මෙරටට හෙරොයින් කිලෝ 4000කට අධික ප්‍රමාණයක් එවා තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය විය.

මෙම උණ්ඩියල් ව්‍යාපාරිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදු වූ දුරකථන සම්බන්ධතා පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමෙන් පසු මොවුන් පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම උණ්ඩියල් ජාවාරම්කරුවන් පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට කටුනායක ගුවන්තොටුපළට ලබා දී ඇති අතර ඔවුන් රටින් පලායෑම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කුඩු සලිඳුගේ බැංකු ගිණුම් 48ක් මේ වනවිට සොයාගෙන ඇති අතර වසර දෙකක කාලයකදී මෙම බැංකු ගිණුම් හරහා රුපියල් ලක්‍ෂ 10,000කට (දස දහසක්) අධික මුදලක් සංසරණය වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment