මැතිවරණයක් දිනන්න පුළුල් සන්ධානයක් ඕන – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

106

මේ දෙවියන් වහන්සේගේ බලයෙන් ආපු පාලකයෙක්වත්, රාජාණ්ඩු පාලනයක්වත් නෙවෙයි…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගියදා (17 දා) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළේය. මේ අනුව මෙවර පළාත් පාලන මැතිවරණ නියමිත දිනට පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. කෙසේ වුවද විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් පවසන්නේ කෙසේ හෝ ඡන්ද අයිතිය ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි. ඒ පිළිබඳව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – බොහෝ දෙනා හිතූ පරිදිම ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම කල් දමා තිබෙනවා. ඒත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීම අවිනිශ්චිතයි. ආණ්ඩුවේ මේ හැසිරීම ඔබ දේශපාලනිකව කියවාගන්නෙ කොහොම ද?

පිළිතුර – මෙය මුළුමුනින්ම වැරදිසහගත කටයුත්තක්. ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. මෙය ඉතාමත් නරක අමනෝඥ පූර්වාදර්ශයක්. මෙම වැරදි තීරණ නිසා ඉදිරියේදී රටේ ඇතිවිය හැකි තත්ත්වයන්ට ආණ්ඩුව වගකිව යුතුයි. මෙහෙමයි අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මේක දෙවියන් වහන්සේගේ බලයෙන් ආපු පාලකයෙක්වත්, රාජාණ්ඩු පාලනයක්වත් නෙවෙයි තියෙන්නෙ. මේකෙ පරමාධිපත්‍යය උසුලන්නෙ මහජනතාව. ජනාධිපති කෙනෙක්, පාර්ලිමේන්තුවක් ඒ වගේම පාර්ලිමේන්තුව හා ගැටගැහුණ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රමයක් තියෙනව. ඒ වගේම මේ ආයතන ව්‍යුහය මගින් ගොඩනැගුණු අධිකරණ ව්‍යුහයක් තියෙනව. මැතිවරණ කියන්නෙ විටින් විට මහජනයාගේ පරමාධිපත්‍යය අභ්‍යාස කරන අවස්ථාවක්. ඒක නවත්වනව කියන්නෙ ව්‍යවස්ථාවේ පරම අයිතියක් අහිමිකිරීමක්. සමහර අවස්ථා තියෙනව රජයට එහෙම කරන්න බෑ කියල ජනතාවට එත්තු යන අවස්ථා. උදාහරණයකට යුද්ධයක් පවතින අවස්ථාව ගනිමු. යුද්ධයක් තියෙන අවස්ථාව මැතිවරණ තියන්න බෑ. හැබැයි අපි යුද්ධ අස්සෙත් ඡන්ද දුන්න. 1982 පවත්වපු ජනාධිපතිවරණයේ ඉඳල 2010 ජනාධිපතිවරණය දක්වා සියලුම ජනාධිපතිවරණ තිබ්බෙ උතුරේ යුද්ධය මැද්දෙ, ගැටුම් මැද්දෙ. එහෙම නැත්නම් දරුණු ස්වභාවික විපත්. ඒ විපත් රටටම බලපාන විදිහට ආවම ඡන්ද තියන්න බෑ. සුනාමි වගේ එකක්. වර්තමානයේ තුර්කියේ ඇතිවෙලා තියෙන භූමිකම්පාව වගේ එකක්. තුර්කියේ මැතිවරණය ජුනි 17 වැනිදාට නියමවෙලා තියෙනව. නමුත් දැන් මේ තියෙන භූකම්පනයත් එක්ක ඒක තියන එක ප්‍රශ්නයක්. එතන පරමාධිපත්‍යයේ ප්‍රශ්නයක් නෑ, රට එකඟයි ඒකට. ඊළඟ එක තමයි වසංගත තත්ත්වය. ඒ නිසා මිනිස්සු මැරෙනව ඡන්ද තියන්න බෑ, මූලික දේ දෙන්න ඕන ජීවිත බේරගන්න. හැබැයි අපි වසංගතයක් අස්සෙත් ඡන්දය තිබ්බ. ඊළ`ඟට තමයි දැන් අලුත් හේතුව ඇවිත් තියෙන්නෙ. ඒ ආර්ථිකය කඩා වැටීම. ඇත්ත රට ආර්ථිකමය වශයෙන් කඩා වැටිල. අපි දන්නව කවුරු හරි තෙල් පෝලිම්වල, විදුලිබලය නැත්නම් රටේ ඒ වගේ වෙලාවක රටේ ඡන්දය තියන්න බෑ කියන අපි පිළිගනනව. ඒත් දැන් රටේ ණය ගෙවන්නෙ නැතිව ප්‍රතිඵලයක් විදිහට ලංකාවට පුළුවන් වෙලා තියෙනව තමන්ගෙ අපනයන ආදායම ආනයන විදයමත් එක්ක සමතුලිත කරගෙන යම් පහළ මට්ටමේ සමතුලිතාවක් ඇතිකරගන්න. ඒ අපි ණය ගෙවන්නෙ නැති නිසා. ඒ නිසා විශේෂ හපන්කමක් නිසා නෙමෙයි. දැන් අපිට ඉස්සර වගේ බෙහෙත් නෑ, ආහාර නෑ, බලශක්තිය නෑ ඒ වගේ ප්‍රශ්න තියෙනව. හැබැයි ඡන්දයක් තියන්න නොතියන්න තරම් ප්‍රශ්නයක් මෙතන නෑ. ලංකාවේ මේ අවුරුද්දෙ ආදායම ආසන්න වශයෙන් බිලියන 3600යි. මැතිවරණය තියන්න යන්නෙ බිලියන 10යි. ඒ කියන්නෙ දවසක ආදායම. ඒ නිසා මේ සල්ලි නැති නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි.

ප්‍රශ්නය – එහෙම නම් කොතැනද ප්‍රශ්නය….

පිළිතුර – ප්‍රශ්නය තමයි රජය බයයි ඡන්දය තියන්න. තිබ්බ හැටියෙ මේ ආණ්ඩුවට ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා කියන නිල මුද්‍රාව තියනව. ව්‍යවස්ථාපිත මුද්‍රාව වැදෙනව. මොකද රාජපක්ෂවරුන්ට 10%ක්වත් ඡන්ද ගන්න ක්‍රමයක් නෑ. එතකොට පාර්ලිමේන්තුවෙ ඔය 121 පවත්වගෙන යන්නත් බෑ. එහෙම බැරුව ජනාධිපතිවරයට පැවැත්මකුත් නෑ. මේ මැතිවරණයෙන් 80000ක් විතර අපේක්ෂකයො ඉන්නව. ජනතාවගේ ඡන්දය උල්ලංඝනය කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා මළ විකාර වෙලා තියෙනව. මහජන උපයෝගිතා කොමිසම, මානව හිමිකම් කොමිසමට තග දාල. මින් පස්සෙ ඉතා භයානක යුගයකට රට ගමන් කරනව.

ප්‍රශ්නය – ඔබ චෝදනා කරන්නෙ ආණ්ඩුව ජනතාව ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යොමුකරනවා කියල ද?

පිළිතුර – ඔව්… ආණ්ඩුව ජනතාව කුලප්පු කරල, කුලප්පු කරල හදිසි නීතිය පනවල පක්ෂ තහනම් කරල, තමන්ගෙ බලය පවත්වා ගැනීම තමයි දැන් ඇතිවෙලා තියෙන්නෙ තත්ත්වය.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මැතිවරණයෙදි වඩා වේගයෙන් ප්‍රචාරණ කටයුතුවල නියැළිලා ඉන්නෙ. ඔවුන් කියන්නෙ ඡන්දයක් අත්‍යවශ්‍යමයි කියල. යම් හෙයකින් මේ ඡන්දය නොපැවැත්වෙන පසුබිමක ජවිපෙ නැවත ප්‍රචණ්ඩකාරී ප්‍රවාහයකට ගිහින් ඒ පක්ෂය තහනම් වෙයි ද?

පිළිතුර – මේ යමින් ඉන්නෙ සිරිමා – ෆීලික්ස්, ජයවර්ධන ජනාධිපතිතුමයි ප්‍රේමදාස මහත්තමයි 82 ගිය ගමන් මග. ඒක ඉතා භයානක ප්‍රවණතාවක්. කාට හරි ජවිපෙ වේවා වෙනත් පක්ෂයක් වේවා ඡන්දය තියල ජනතා කැමැත්ත තියෙනව පළාත් පාලන ආයතන දිනාගන්න, පාර්ලිමේන්තුව ගන්න, කැබිනට් මණ්ඩලයට එන්න අයිතියක් තියෙනව.

ප්‍රශ්නය – ජනතාවට වගේම රටක ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වන ආණ්ඩුවේ තීරණ ආපහු හරවන්න නම් මොනවද කරන්න ඕනෙ…?

පිළිතුර – සමහරු කියනව වගේ අන්තර්ජාතික ප්‍රජාවට ගිහින් කියන්න දෙයක් මෙතන නෑ. ඒ වගේම මෙතන තියෙනව අපි කාටත් පොදු ලංකාව බංකොලොත්වීම පිළිබඳ ප්‍රශ්නය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හිරවීමකුත් තියෙනව. ඒක කොයි පක්ෂය බලයට ආවත් තියෙනව. ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටේ හැම දිසාවකම ඉන්න සියලු බලවේග එකමුතුවෙලා, එක හඬින් දහ තුනකට පක්ෂද නැද්ද, සමාජවාදයද? ධනවාදයද? අයිඑම්එෆ් තියෙනව නැද් ද? ඔය වගේ කාරණා ගැන නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය කියන මේ තනි කාරණය වටා එකතුවීම තමයි කළ යුත්තෙ.

ප්‍රශ්නය – ඒ කියන්නෙ මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන් පළමුව පුළුල් සන්ධානගත විය යුතු බව ද?

පිළිතුර – පැහැදිලිවම. ඒ සන්ධානය පාර්ලිමේන්තුව ඇතුළෙත් ක්‍රියාත්මක වෙන්න ඕන.

ප්‍රශ්නය – එතනදි ඔබ මොන වගේ භූමිකාවක්ද නිරූපණය කරන්නේ…?

පිළිතුර – අපි සම්පූර්ණයෙන්ම ඒකට මැදිහත්වෙනව. මොකද මේ යන ගමන් මග, රනිල් වික්‍රමසිංහ මහත්තයට යන්නෙ වෙන්නෙත් කැඩිච්ච වීදුරු පාළමෙ කකුල් කැපි කැපි. දරුවන්ට යන්න වෙන්නෙත් ටයර් සෑයෙ. අපි මේව ජීවමානව අත්දැක්ක 89 කාලයෙ තරුණයො විදිහට.

ප්‍රශ්නය – ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කිරීම වගේම රජයේ මුද්‍රණාලයාධිපතිනියට යම් බලපෑම් කරමින් ඉන්න බව බොහෝ දෙනා කියනව. ආණ්ඩුවේ බලපෑම්වලට නතුවන නිලධාරීන්ගෙ ඉරණම ඉදිරියේදි මොකක් වෙයි ද?

පිළිතුර – අපි දැක්ක පහුගිය කාලයෙ ස්වාධීන කොමිෂන් සභාවලට එල්ල කරල තියෙන අභියෝග. විදුලිබිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට කරපු බලපෑම අපි දැක්ක. ඒක පැහැදිලිවම මහජනයාට දාපු ‘තගක්’. මේ රටේ තුන්ලක්ෂ තිස්දාහක් වෙච්ච උසස් පෙළ දරුවන්ගෙ අනාගතයට බිල්ලට තියල ඒ ‘තග’ දැම්ම. ඊළඟ අපි දැක්ක මානව හිමිකම් කොමිසමට දැම්ම තග. උසාවියේ ඇතැම් විනිසුරුවන්ට යම් යම් තීන්දු දුන්නම ඔවුන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග. රාජ්‍ය නිලධාරීන්ට එල්ල කරන බලපෑම්. මේව සම්බන්ධයෙන් ඇත්ත වශයෙන් කෙටිකාලීනව මේ යම් අයට බලයෙ ඉන්න උපස්ථම්භ වෙන්න පුළුවන්. නමුත් මේවා දිගුකාලීන නෑ. මේ රටේ පසුගිය කාලයෙ සිදුවූ සිදුවීම් ගැන කල්පනා කරල බලන ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් තේරුම් ගන්න ඕන මේවා තමන්ට වගේම රටට භයානක ප්‍රතිඵල දෙන බව. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් ව්‍යවස්ථාවට අනුකූලවත්, නීතියට අනුකූලවත් ක්‍රියා කළ යුතුයි. හැබැයි මෙතැන මැතිවරණ කොමිසමෙත් ප්‍රශ්නයක් තියෙනව. මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳෙව්ව. ඒ තුළින් 80000ක් විතර පිරිසක් ඉදිරිපත් වුණා. මිනිස්සු ධනය, ශ්‍රමය තමන්ගෙ රැකියාව පරිත්‍යාග කරල තමයි මැතිවරණයට ආවෙ. ඒ නිසා මැතිවරණ කොමිසමට කලින්ම තක්සේරුවක් තිබුණ නම් මැතිවරණයට සල්ලි ලැබෙන්නෙ නෑ කියල ඒ ක්‍රියාමාර්ගය නොගෙන මහජනයා ඉදිරියට ගිහින් ප්‍රකාශයක් කරන්න තිබුණ කොමිසම ඡන්දය තියන්න සූදානම්, හැබැයි රජය සල්ලි දෙන්න සූදානම් නෑ කියල. ඒ නිසා ඉල්ලා අස්වෙන කියන්න. එහෙම කියල තමන්ගෙ ගෞරවය රැකගන්න. ඒ වගේම මුදල් ලේකම්වරයා. එයා උසාවියට කිව්වෙ මුදල් සපයා ගැනීම අභියෝගයක් මිසක් කරන්න බෑ කියල නෙමෙයි. ඒ නිසා මැතිවරණය සම්බන්ධ නිලධාරීන්ගෙ වගවීම පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනව.

ප්‍රශ්නය – මැතිවරණයෙන් මඳකට අමතක කරල කතා කළොත්, මේ දවස්වල 13 වැනි සංශෝධනය ගැනත් බොහෝ දෙනෙක් කතා කරනව. රනිල් වික්‍රමසිංහගෙ 13 ආයෙත් කරලියට ගෙනත් මේ කරන්න හදන්නෙ මොකක් ද?

පිළිතුර – රනිල් වික්‍රමසිංහ මහත්තය කළේ අවුරුදු 35ක් පරණ තුවාලයක් පාරණ එක. මේ දෙයින් කිසිම විදිහකට මේ රටේ සංහිඳියාවක් ඇතිවෙන්නෙ නෑ. මොකද අවුරුදු 35කට කලින් මේ රටේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ ව්‍යවස්ථාවට එකතුකළේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ නම් නෙමෙයි. ඒ ව්‍යවස්ථාව අනුමත කරන්න තිබුණු තුනෙන් දෙකේ බලය එතුමන්ට ලැබුණෙ කොහොම ද? 1977 මැතිවරණයෙදි ආසන 144ක් ලැබුණ. හැබැයි ඒ 144ට ඔහු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණ 1983දි. ඔහු ඒ මැතිවරණය පැවැත්වුවෙ නෑ. ඊට වසරකට පෙර පවත්වපු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එතුමට 52%යි තිබුණෙ. තුනෙන් දෙකේ බලයක් තිබුණෙ නෑ. මොකද අනුපාත ඡන්ද ක්‍රමය තමයි 83 ඡන්දයට යොදාගත යුතුව තිබුණෙ. ඒ අනුව ජනමත විචාරණය නමින් මේ රටේ ඉතා ප්‍රශ්නකාරී ඡන්ද කොල්ලය මගින් අත්තනගල්ලත් දිනාගත්ත. හිටපු ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුවගෙ ඡන්දයත් දාල තිබුණනෙ. ඒ කොල්ලය මගින් තමයි පාර්ලිමේන්තුව තුළ මේ හැම දේම කළේ. සියලු දෙනාගෙන් හිස්කොළවලට අත්සන් ගත්ත, ඡන්දයට පෙර සියලු දෙනා ටාජ් සමුද්‍රා හෝලයට ගෙන්නගත්ත. ගාමිණී ජයසූරිය, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු හතර දෙනෙක්ට විතරයි කොන්දක් තිබුණෙ ඒකට විරුද්ධ වෙන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? එහෙම නම් 1815දි සුද්දට බයේ අත්සන් කරපු ගිවිසුමත් හරි වෙන්න ඕන.

මේ ව්‍යවස්ථා සංශෝධනය කළාට පස්සෙ සන්නද්ධ අරගලය අතහරිනවා කියල පොරොන්දු වුණා. එහෙම වුණේ නෑ. මීට පස්සෙ මින් ඔබ්බට කිසිම දෙමළ නායකයෙක් යන්නෙ නෑ කියල පොරොන්දු වුණා. නමුත් පහුවෙනිදා ඉඳන් කිව්ව අපිට ෆෙඩරල් මදි කියල. මේක ක්‍රියාත්මක කළත් නතරවෙන්නෙ නෑ. ඒකනෙ දැන්ම විග්නේෂ්වරන් මහත්තය කියන්නෙ. දැන් තියෙන්නෙ අවුරුදු 35කට පෙර තිබුණු තත්ත්වයක් නෙමෙයි.

දෙමළ ජන අයිතිය කියල 13 හෝ ෆෙඩරල්වලට පක්ෂවීම කියල ගැනීම සම්පූර්ණයෙන්ම වැරැදියි. අද මේ රටේ ප්‍රශ්නය දෙමළ ජනයාට බේත් නැති එක හෝ කන්න නැති එක, පොහොර නැති එක, විදුලිය නැති එක සහ අන්තර්ජාතික මිලට තෙල් නැති එක. ඕක තමයි දෙමළ ජනයාගේ ප්‍රශ්නය. ඒක ඉඩම් හෝ පොලිස් බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඉඩම් බලය දීල තියෙන්නෙ. ඒ කාලයෙ ඉඩම් බලය ගැන ලොකු ගැටලුවක් තිබුණ, මොකද සිංහලයො ගිහින් උතුරෙ පදිංචිවෙනව කියල මහ විශාල උද්වේගයක් තිබුණ. ඒ වගේම සිංහලයන්ටත් ප්‍රශ්නයක් තිබුණ, වතුකරයේ දෙමළ ජනතාව උතුරට ගෙනිහිල්ල එහෙ කොලණි හදනව. ඔය මොකක්වත් නෑනෙ වතු දෙමළ ජනතාව ගිහින් උතුරේ පදිංචිවෙන්නෙත් නෑ, සිංහලයො පදිංචිවෙන්නෙත් නෑ.

යාපනය පළාත් සභාවට වාරිමාර්ග දුන්නම මොකද කළේ… ඉරණමඩු වැවේ වතුර ටික යාපනයට යන එක නැවැත්තුව. මතක තියාගන්න කන්තලේ වැවේ වතුර ත්‍රිකුණාමලයෙ දෙමළ ජනතාවට යනවට කිසිම සිංහල මිනිහෙක් විරුද්ධ වෙලා නෑ. ඒ පළාත් සභාවෙන් ඒක නවත්වල නෑ. ඉඩම් බලය දුන්නොත් ඔය විදිහට උතුරෙ අය කටයුතු කරයි ද? දෙමළ ජනයාගේ ඉඩම් ආරක්ෂක ප්‍රශ්න මත හමුදාව අල්ලගෙන ඉන්නවා නම් ඒව ලබාදෙන්න ඕන. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ ව්‍යවස්ථාවේ 10 වැනි පරිච්ඡේදයේ ඉඳන් 15 වැනි පරිච්ඡේදයේ ඉඳන් මානව හිමිකම් ගැන. එහි අති විශාල පිරිසක් සිංහල, දෙමළ, මුස්ලිම් උතුරෙන් පළවාහැරල තියෙනව. ඒ අයට නැවත පදිංචිවීමේ අයිතිය නැවත තහවුරු කරන්න ඕන. ඒක තහවුරු කරන්න නැතිව එල්ටීටීඊ වර්ගවාදයට අනුව සුද්ද බුද්ධ කරපු ඉඩම්වල ඉඩම් අයිතිය ක්‍රියාත්මක කරන්න බෑ.

අනෙක පොලිස් බලය. දෙමළ කතාකරන පොලිසියක් උතුරේ තැබීම කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි උතුරේ මහ ඇමැතිට ඕන කෙනෙක් නියෝජ්‍ය පොලිස්පති කරල, උතුරේ පොලිසියක් වෙනම පිහිටුවා ගැනීම නෙවෙයි ලෝකයේ හා රටේ අවශ්‍යතාව. රටේ අවශ්‍යතාව ස්වාධීන පොලිසියක්. උතුරු පළාතට වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්වුණාට කමක් නෑ හැබැයි එයා ස්වාධීන පොලිස් කොමිසමක් මගින් තමයි පත්කරන්න ඕන. මහ ඇමැති නෙමෙයි. ඒ වගේම උතුරේ දෙමළ කතා කරන පොලිස් නිලධාරීන් නැත්නම් දෙමළ කතාකරන්න පුළුවන් නිලධාරීන් එහේ සේවයට යවන්න ඕන. අපේ පොලිස් සේවයට, වෛද්‍ය සේවයට, ඉංජිනේරු සේවයට දෙමළ ජනතාව බැඳිය යුතුයි. මම දන්නව විදුලි මණ්ඩලයෙ බොහොම අඩු ඉංජිනේරුවන් ප්‍රමාණයක් දෙමළ අය. අපි ඒ හැමෝටම පත්වීම් දීල තියෙනව ඒ ප්‍රදේශවල වැඩකරන්න.

ප්‍රශ්නය – මෑත යුගයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඇතැම් උද්ඝෝෂණ පොලිසිය යොදා මර්දනය කරන බවට චෝදනා තියෙනව. මේ මර්දනය ඔබ දකින්නෙ කොහොමද?

පිළිතුර – ඔය ටික ගෝඨාභයත් කළානෙ. ගෝඨාභය පවුඩර් දැම්මෙ නෑනෙ කට්ටියට. ගෝඨාභය ඇඳිරි නීතිය දාල අපි පෙළපාලියක් ගියා නම් අපි වෙඩි තියන්න පොලිසියයි, හමුදාවයි එව්ව. මහජනයාට සැලකුවෙ එහෙමයි. 6000ක් අත්අඩංගුවට ගත්ත. වෙඩි තිබ්බ. හැබැයි එක මොහොතක් එනව පොලිසියයි හමුදාවයි මේ හැමෝම තේරුම් ගන්නව දැන් ඇති කියල.

රනිල් වික්‍රමසිංහ රටේ ප්‍රශ්න විසඳනව නම් කමක් නෑ. අද ව්‍යාපාර කඩා වැටෙනව. අධික තෙල් මිලක්, විදුලි ගාස්තුවක් අපි පිට පටවල. බදු ගැන විනිවිදභාවයක් නෑ. වියදම් කප්පාදුවට කිසිම වැඩපිළිවෙළක් නෑ. නිදහස් උළෙලට උත්සව කීයක් කළාද. මෙහෙම සංදර්ශන පවත්වන තත්ත්වයකද ලංකාව තියෙන්නෙ. ඒ නිසා තමන්ගෙ වියපැහැදම් ගැන මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් ඇතිවෙන විදිහට ජනාධිපති වික්‍රමසිංහ මහත්තය වැඩ කරල නෑ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment