මිසදුටුවන්ට ජන ජීවිත බිලිගැනීමට ඉඩ නොදෙමු

709

බුදු දහම යනු පැහැදිලි නිරවුල් දර්ශනයකි. ඒ තුළින් ලෞකික මෙන්ම ලෝකෝත්තර සුවය සාක්‍ෂාත් කරගන්නා අයුරු අපූරුවට පෙන්වා දී ඇත.

එදවස සිදුහත් බෝසතාණෝ විමුක්තිය සොයා යන ගමනේදීත් දඹදිව නොයෙකුත් මිථ්‍යා මත වැපිරී විවිධාකාකරයේ ආගමික නායකයෝ වූහ. එම ආගමික නායකයන් ඇසුරේ කල් ගෙව්වද ඉන් තමන් සොයනා විමුක්තිය සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි බව සිදුහත් බෝසතාණෝ තේරුම් ගත්හ. කාමසුඛල්ලිකානුයෝගය ද තවත් වරෙක අත්තඛිලමතානුයෝගය ද අත්හදා බැලූ සිදුහත් බෝසතාණෝ ඉන් තමා අපේක්‍ෂා කරන විමුක්තිය නොලැබෙන බව පසක්කර ගත්හ. අවසන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් සිදුහත් බෝසතාණෝ නිර්වාණාවබෝධය ලබමින් බුද්ධත්වයට පත්වූහ. එතැන් පටන් වසර 2600 කටත් වඩා වැඩි කාලයක් බුදු දහම සුරැකෙන්නේ එහි ඇති දාර්ශනික ස්වභාවය නිසාවෙනි.

බුදු දහමේ දර්ශනික ස්වභාවයට පිටුපා ක්‍රියාකරන මිසදුටුවෝ එදත් සිටියහ. අදත් සිටින්නා හ. බෞද්ධ දර්ශනය හුවා දක්වමින් දිව්‍යලෝකයට යෑමට මිහිපිට ජීවිතය අත්හැරිය යුතු යැයි මතවාදයක් වපුරා රටපුරා දේශන පැවැත්වූ ජන මනස විකෘති කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තෙකු පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත. මෙම මිසදුටුවාද තමන් සෝවාන් ඵල ලැබූවා යැයි පවසමින් වස බී මරුමුවට පත්ව ඇත. ඔහුගේ බිරිඳ දරුවන් තිදෙනාද වස පානය කොට මියගොස් තිබේ. මෙම මිසදුටුවාගේ අනුගාමිකයන් ලෙස සැලකෙන 34 හැවිරිදි පුද්ගලයකු සහ 21 හැවිරිදි තරුණියක ද සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වී තිබේ. මේ සියලු දෙනා මියගොස් ඇත්තේ සයනයිඩ් යැයි සැකකළ හැකි වස වර්ගයක් පානය කර බව ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

අද අප සිටින්නේ විද්‍යාව හා තාක්‍ෂණය අතින් පොහොසත් යුගයකය. එවන් යුගයක මිථ්‍යා මතයකට යට වී මෙලෙස සිය දිවි නසාගන්නා පුද්ගලයන් ගැන අසන්නට ලැබීම අතිශය කනගාටුදායකය.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා සජීවීව මෙන්ම වීඩියෝ මගින් සිය අනුගාමිකයන් අමතා ඇත. මෙම මිසදුටුවාගේ දේශනවලට සම්බන්ධ වූ බව කියන දහස් සංඛ්‍යාත පිරිසක් දිවයින පුරා සිටින බව ද මේ වන විට හෙළිදරව් වී තිබේ. මෙය ඉතාම භයානක තත්ත්වයකි. මෙම මිසදුටුවාගේ දේශනවලට සහභාගි වී මනස විකෘති කරගත් කවුරුන් හෝ පිළිබඳව තොරතුරක් වේ නම් අදාළ පොලිසිවලට දැනුම් දීම පුරවැසියන්ගේ යුතුකමකි. මෙහිලා බුදු දහම සුරක්‍ෂිත කරන බෞද්ධ භික්‍ෂුන් වහන්සේද මේ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට ප්‍රමාද නොකළ යුතුය. නොමඟ ගොස් සිටින මෙම පිරිස සුමඟට ගැනීම කාලීන අවශ්‍යතාවකි.

ශ්‍රී ලංකාව බහුවිධ ආගමිකයන්ගෙන් සැදුම්ලත් දේශයකි. බෞද්ධ, කතෝලික, මුස්ලිම් මෙන්ම හින්දු ආගමිකයෝ ද අප රටේ සහජීවනයෙන් ජීවත් වෙති. මෙම සියලු ආගම්වලින් යහපත් ජීවන රටාවකට මිනිසා යොමුකරන අතර මේ කිසිදු ආගමක් සියදිවි නසා ගැනීම අනුමත කරන්නේ නැත. බුදු දහම අනුව සියදිවි නසා ගැනීම පාපයකි. තමන්ගේ ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය සුගතිගාමී කර ගැනීම සඳහා යහපත් දේශනා මෙම සෑම ආගමකින් ම කියා දෙන අතර ඊට අනුකූලව සහජීවනයෙන් ජීවත්වීම අප සෑම දෙනාගේම අභිප්‍රාය විය යුතුය.

බුදු දහම විකෘති කිරීමට ඇතැම්හු කාලයක් තිස්සේ ක්‍රියා කළ බව අප දන්නා කරුණකි. ඇතැම් විට චීවරධාරීන් පවා මේ පිටුපස සිටීම කනගාටුදායක ය. සමහර චීවරධාරීහු දඹදිව ලංකාවට සමාන කරමින් සිදුහත් බෝසතාණෝ උප්පත්තිය ලැබුවේ ලංකාවේ බවට විකෘති මතවාද ගෙනයති. කලින් කලට රුවන් ප්‍රසන්න ගුණරත්න වැනි මිසදුටුවන් පහළවීමත් අප සමාජයේ දැකිය හැකිය. එහෙත් කවුරුන් කුමන අයුරින් මොන දේශනා ඉදිරිපත් කළත් මනා සිහි නුවණින් විචක්‍ෂණශීලීව ඒ දෙස බලා තීරණ ගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතුය. පවතින ජරාජීර්ණ ආර්ථික රටාව හමුවේ අසරණභාවයට පත්වීමත් සමඟ ඒ තුළින් අයුතු ප්‍රයෝජන ගන්නා ඇතැම් අවස්ථාවාදී ආගමික කල්ලි කල්තියා හඳුනාගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුය. එහිලා සියලු ආගමික නායකයන්ට ඇත්තේ සුවිශාල වගකීමකි. මිථ්‍යා මත වපුරන පිරිස් දුටු වහාම ඔවුනගේ ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා පෙරට ආ යුතුය. එවැනි ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා අදාළ බලධාරීන් නොපමාව පියවර ගැනීම ද කළ යුතුමය. අවවාදවලින් අනුශාසනාවලින් මිසදුටුවන් පාලනය නොවේ නම් අවශ්‍ය නීතිරීති අණපනත් ගෙනැවිත් හෝ ඔවුනගේ ක්‍රියාකාරකම් නතර කළ යුතුය. එසේ නොවුණ හොත් සිදුවනුයේ මොවුනගේ මිථ්‍යා මතවලට හසු වී තවත් පිරිසක් අකාලයේ මියයෑම පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment