මෙතෙක් සිටි 25 දෙනාගෙන් දුර්වලම කථානායක වත්මන් කථානායකයි – ජී. එල්. පීරිස්

74

මෙතෙක් පත්ව සිටි කථානායකවරුන් 25 දෙනාගෙන් දුර්වලම කථානායකවරයා වත්මන් කථානායකවරයා බවත්, හෙතෙම විධායකයේ දිගුවක් බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (18දා) පැවැසීය.

කථානායකවරයා නිර්පාක්ෂික පුද්ගලයකු විය යුතු බවත්, එහෙත් වත්මන් කථානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවැසීය

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද හා හෙට (19 සහ 20) විවාදයට ගන්නා බවත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ අභිමතාර්ථය පදනම් කරගෙන විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යම් පනතක් මානව හිමිකම් සමඟ ගැටෙනවා නම් එම පනත් සඳහා සංශෝධන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවන බවත්, මහජන අවශ්‍යතා රජයකට සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවලදී එයට විරුද්ධව නැඟීසිටීමට මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය හිමිවන බවත් මන්ත්‍රීවරයා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන නිර්දේශ හා යෝජනා අනිවාර්යයෙන්ම රජය පිළිගත යුතු බවත්, මෙම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පවා පයින් ගසා නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමේ දොරටු විවෘත කරන බවත් හෙතෙම පැවැසීය.

පාර්ලිමේන්තු මැතිවරණයකට මුවා වී කිසි විටෙක ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවත් එය නිශ්චිත දින වකවානුවල අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment