මේ සැරසෙන්නේ දිවුලපතානෙන් සිංහලයින් පලවා හරින්නද? – මහාචාර්ය නලින් ද සිල්වා

2389

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචිවීමට සිංහල නොවන ජනතාවට කිසිදු බාධාවක් නැති නමුත් සිංහලයන්ට උතුරු – නැගෙනහිර ජීවත්වීමට ඇති අයිතියට ජාතිවාදී දමිළ දේශපාලකයන්ගේ බලපෑම් පිට බාධා පැමිණවීම අතිශය ඛේදජනක තත්ත්වයක් බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා සඳහන් කරයි.

උතුරු – නැගෙනහිර ඇතැම් ස්ථානවල බැරියර් දමා අනව්‍ය ලෙස ජනතාව පීඩාවට පත් කරමින් පවතින බවත් තිස් වසරක යුද්ධයෙන් දිනාගත් මාතෘ භූමිය මෙවැනි තත්ත්වයන් හේතුවෙන් යළි අරාජික කිරීම ඛේදජනක බවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින මහාචාර්යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බවද අවධාරණය කර සිටී.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඊයේ පෙරේදා බුදුපිළිම වහන්සේ නමක් ඉවත් කිරීමට පොලිසිය හා හමුදාව කටයුතු කරලා. ඒ ප්‍රදේශයේ සිංහලයන් කලක් තිස්සේ පදිංචිව සිට ඇත්තේ. ඔවුන් තම ජීවිකාව කර ගත්තේ කුඹුරු වගාවෙන්. දෙමළ කොටි ආක්‍රමණ කාලයේ ද ඔවුන් එහි පදිංචිව සිටි බවට සාක්‍ෂි තිබෙනවා. එය එකල තිබූ ඊනියා මායිම් ගම්මානයක්. ගමේ නම දිවුලපතාන, දිස්ත්‍රික්කය මඩකලපුව. විහාරස්ථානය වෙහෙරගොඩැල්ල රජමහා විහාරය.

මේ නම්වලින් පැහැදිලි වන්නේ ඒ ගම්, නම් දෙමළකරණයට පවා හසු නොවී ඇති බවයි. දෙමළ කොටි ත්‍රස්තවාදීන් නිසා පසුව සිංහල ජනයා ඒ ප්‍රදේශය අත්හැර ගොස් එහෙත් නැවතත් 2010 දී පමණ මහින්ද රාජපක්‍ෂ කොටි පැරදවීමෙන් පසු එතුමාගේ ජනාධිපතිත්වය යටතේ නැවතත් අර සිංහලයන් හා ඔවුන්ගෙන් පැවත එන අය එහි පදිංචියට ගිහින්. එය කිසිසේත්ම සිංහලයන් අලුතෙන් පදිංචි කිරීමක් නොවෙයි. ඔවුන්ට අකටයුතුකම් සිදුවී තිබෙනවා.

මාස කිහිපයකට පෙර එකී විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ නමක් නැවත තැන්පත් කර තිබෙනවා. එහෙත් මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී රාසමානික්කම්, රනිල් වික්‍රමසිංහ මහතා ලවා හමුදාව හා පොලිසිය මගින් බුදුපිළිම වහන්සේ ඉවත් කර තිබෙනවා. දැනටත් දිවුලපතානේ සිංහල පවුල් හාරසීය පනහක් පමණ පදිංචිව සිටින බවයි දැන ගැනීමට ඇත්තේ. ඔවුන් අති විශාල බහුතරය බෞද්ධ වෙන්න ඕන. රනිල්, රාසමානික්කම් ආදීන්ට බුදුපිළිම වහන්සේ නමක් ඉවත් කර සිංහල බෞද්ධයන්ට වැඳුම් පිදුම් කිරීමට ඇති අයිතිය නැති කරන්න පුළුවන්ද?

මේ පියවර සිංහලයන් දිවුලපතානෙන් පලවා හැරීමට පළමු පියවර වෙන්න පුළුවන්. රනිල් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට කටයුතු නොකරන බව පැහැදිලිය. ඔහු ඊනියා දෙමළ බෞද්ධයන් ගැන කියවනවා. මෙරට දෙමළ බෞද්ධ වාසස්ථාන තබා දෙමළ වාසස්ථානවත් දහතුන් වැනි සියවසට පෙර නොතිබූ බව පවසන්නේ යාපන විශ්වවිද්‍යාලයේ පළමු ඉතිහාස මහාචාර්යවරයාව සිටි කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ තම ආචාර්ය උපාධි නිබන්ධයෙන්. කාටහරි පුළුවන් නම් මෙරට දෙමළ බෞද්ධයන් ස්ථිරව පදිංචිව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් කරන්න ඉන්ද්‍රපාල මතාගේ නිබන්ධයේ පිටපතක් මා ළඟ තියෙනවා. ජනපතිට හෝ රාසමානික්කම්ට හරි අවශ්‍ය නම් එය කියවීමට දෙන්න පුළුවන්.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment