යාපනයේ ආවා කල්ලි නායකයා අල්ලයි

69

රට පනින්න ගල්කිස්සේ හැංගිලා

යාපනය ප්‍රදේශයේ දරුණු අපරාධ සහ කප්පම් ගැනීම් සිදුකරන ආවා කල්ලියේ නායකයා බව කියන ප්‍රභාකරන් නොහොත් “ප්‍රභා” විදෙස් රටකට පලායෑම සඳහා ගල්කිස්ස යසෝරාපුර ප්‍රදේශයේ සැඟව සිටියදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04 දා) අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරකට අනුව බුද්ධි අංශයේ පොලිස් සැරයන් (428) ජයලාල්, සහ පොලිස් කොස්තාපල් (91287) සංජීව යන නිලධාරීන් යොදවා සිදුකළ අධීක්‍ෂණ රාජකාරියකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රභාකරන් කෞඩිකන් නොහොත් “ප්‍රභා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු, කල්ලිය තුළ KOINSI THAMPA යන සංකේත නාමයෙන් හඳුන්වයි. සංකේත අංකය ලෙස 001 වේ.

මොහු විසින් යාපනය අර්ධද්වීපය තුළ සිදුකරන ලද විවිධ අපරාධවලට අදාළව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු 02 ක් සහ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු 02 ක් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකරු විසින් යාපනය අර්ධද්වීපය තුළ පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීම, මිනී මැරීමට තැත් කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයකුව සිටීම, වාහනවලට පහරදී අලාභ හානි කිරීම ඇතුළු චෝදනා රැසකට තෙලිප්පලෙයි, චුන්නාකම්, මානිප්පායි, යාපනය සහ කිළිනොච්චිය යන පොලිස් ස්ථානවල පැමිණිලි ඇත.

මොහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී යශෝරාපුර ප්‍රදේශයේ නිවසක් රු. 25,000 කට කුලියට ගෙන රැඳී සිට යාපනයට ගොස් මෙම අපරාධ සිදුකර නැවත ගල්කිස්සට පැමිණ ඇති බව හෙළි කරගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ චාමික වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්, චතුරංග පොලිස් සැරයන් (428) ජයලාල්, පො.සැ.රිය. (11919) අජිත්, පො.කො. (65921) චමින්ද, (77090) බාලසූරිය, (91287) සංජීව (35039) දිල්හාර, (100677) ලක්‍ෂිත, (105086) කේ. සුමාරන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment