රටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන කඳුකර දෙමළ ජනතාව සිටින්නේ දරිද්‍රතා රේඛාවේ පහළම

50

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන කඳුකර දෙමළ ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී 25දා පැවසීය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

කඳුකර දෙමළ ජනතාව මෙරටට විශාල විදේශ විනිමයක් ලබාදෙන ජන කොට්ඨාසයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. එසේ වුණත් වැඩිපුරම දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවත් ඔවුන්. ඒ ගැන අපි කනගාටු විය යුතුයි. ඔවුන්ගේ රැකියාවල ස්ථාවරභාවරය, නිවාස, පානීය ජලය යන පහසුකම් ඔවුන්ට සම්පූර්ණ නැහැ. මේ ජනතාවගේ ජන ජීවිත නඟා සිටුවීමට එන එන නායකයන් පොරොන්දු දෙනවා. නමුත් ඒවා ඉටු කරන්නේ නැහැ. මිලියන 1.5 ක් පමණ වන කඳුකර ජනතාවට

තමන්ගේම කියලා තැපැල් ලිපිනයක් සඳහන් කළ හැකි ඉඩම් කැබැල්ලක් නැහැ. ඔවුන්ට කියලා ජීවත් විය හැකි තමන්ට අයිති ඉඩමක් නැහැ. ඉඩම් ඔප්පු ඔවුන්ට දෙන බවට ප්‍රකාශ වුවත් ඒවා මෙතෙක් ලැබී නැහැ. නිරවුල් ඔප්පු ඔවුන් සතුව නැහැ. කොයි මොහොතේ ඉඩමෙන් යන්න වේද කියන බයෙන් තමයි ඔවුන් ජීවත් වන්නේ.

වතු දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉතා කනගාටුදායකයි. ඔවුන්ට අංග සම්පූර්ණ පාසල් නැහැ. විද්‍යාව, ගණිතය තිබෙන අංග සම්පූර්ණ පාසලක් එක් දිස්ත්‍රික්කයකට හෝ වතු ජනතාව වෙනුවෙන් ලබාදීමට පියවර ගත යුතුයි. වතු ඩිස්පෙන්සරි මේ වන විට වැසී ගොස් අවසන්. වතු පාසල්, වතු රෝහල් ලෙස නම් කරන එකත් වැරදියි. ශ්‍රී ලංකාවේ රෝහල්, ශ්‍රී ලංකාවේ පාසල් ලෙස ඒවා නම් කළ යුතුයි. දෙමළ භාෂාවෙන් කතා කළ හැකි වෛද්‍යවරුන්, හෙදියන් සිටින සෞඛ්‍ය ආයතන ඔවුන් වෙනුවෙන් ස්ථාපිත කළ යුතුයි. වතු ජනතාවට භාෂාව නිසා පරිපාලනමය ගැටලු‍වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. විදේශ විනිමයෙන් වැඩිම මුදලක් කඳුකර දෙමළ ජනතාව රටට ලබාදෙනවා නම් ඉන් කිසියම් කොටසක් වෙන් කර ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට යෙදවිය යුතු බව රජයට ප්‍රකාශ කරනවා.
අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment