රට ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කැපවෙද්දී විපක්‍ෂය සාම්ප්‍රදායික ලෙස කටයුතු කරනවා

55

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

ඉතාම අසීරු අවස්ථාවක සිට රට ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරද්දී විපක්ෂය ඉතාම සාම්ප්‍රදායික ලෙස කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.

තවමත් සුන්බුන් මත සිටින අවධියක රටට මැතිවරණ පැවැත්වීම සුදුසුදැයි කියා සිතිය යුතු බවද හෙතෙම කියා සිටියේ සර්වජන ඡන්ද බලය පිළිබඳ විපක්ෂය විසින් ඊයේ ගෙන එනු ලැබූ සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමිනි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ලිපිලේඛන, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය.

අනතුරුව දිනට නියමිත වූ සර්වජන ඡන්ද බලය පිළිබඳ කල් තැබීමේ විවාදය ආරම්භ කෙරිණි. විවාදය ආරම්භ කරමින්,

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා (ස.ජ.බ)-

මේ වන විට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, සර්ව ජන ඡන්ද බලයට සහ ජන සම්මතවාදයට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ රටේ ඡන්දයෙන් පත්වන ආයතන 04ක් තිබෙනවා. ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනයි. දැනටමත් පළාත් සභා මැතිවරණය වසර ගණනකින් පවත්වලා නෑ. අද මේ රටේ ඉන්නෙත් ඡන්දෙන් පත්වූ ජනාධිපතිවරයෙක් නොවෙයි. මේ කැබිනට් මණ්ඩලයත් ජනතාව එලවලා දාලා තිබෙන මොහොතක්. ඒ අතරේ මේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න ආණ්ඩුව නොයෙක් නොයෙක් උප්පරවැට්ටි දියත් කළා. අධිකරණයට ගියා. ඇප මුදල් භාර ගන්න එපා කිව්වා. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළා. ඡන්ද පත්‍රිකා මුදලට පමණක් මුද්‍රණය කරන්න කියලා පලපෑම් කළා. ජනාධිපති මේ සභාවට ඇවිත් බලපෑම් කළා. මේ ඊයේ පෙරේදා ඇවිත් කියනවා ආර්ථිකය හැදී ගෙන එනවාලු. බලපෑම් කරන්න එපාලු. ඔහු දිගින් දිගටම හමුදා සහ පොලිස් බලයෙන් මේ රට පාලනය කරන තැනකට දැන් ඇවිල්ලා. අපිට අධිකරණයට යන්න වුනේ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරපු නිසායි. ළමයි ලක්ෂ 30කට ප්‍රමාණවත් කෑම ලැබෙන්නේ නෑ කියලා වාර්තා ලැබිලා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් (සජබ)

රනිල් වික්‍රමසිංහ ජනපතිට ඡන්දය තියන්න සල්ලි නැති වුණාට නිදහස් උත්සව, ජනරජ සැණකෙළි පවත්වන්න සල්ලි තියෙනවා. රජයේ නිලධාරීන් ජනාධිපතිවරයාගේ වැරදි උපදෙස්වලට ක්‍රියාකර අමාරුවේ වැටෙන්න එපා. අපේ රජයක් යටතේ නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කරනවා.

අද මිනිස්සුන්ට ජීවත්වෙන්න අමාරුයි. පුද්ගලික ආයතන වැසෙනවා. මේවා බලන්න කවුරුත් නෑ. බඩු මිල අඩු වුණා කිව්වාට ආණ්ඩුව ඡන්දයට බයයි. ලයිට් බිල හෙණ ගහන්න වැඩිවෙලා. ගෙදරක එක ලයිට් එකක් නොදැම්මත් රුපියල් 600 ක් විතර ගෙවන්න වෙලා. ජනාධිපතිට ජනතාවගේ දුක දැනෙන්නෙ නෑ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන –

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවීම ජනවරමට පටහැනියි කියනවා. එදා රනිල් වික්‍රමසිංහ පැරදී ඩලස් අලහප්පෙරුම මහතා දින්නා නම් ඒක ජනවරමට එකඟද? නීත්‍යානුකූලද? අපේ කාලයේදී හැම ඡන්දයක්ම නියමිත කාලයට පැවැත්වූවා. සමහර ඒවා කලින්ම තිබ්බා. උතුර පැරදෙන බව දැන දැනම ඡන්දය තිබ්බා. අපි අද මැතිවරණයට සූදානම් වෙනවා.

2017 දී පළාත් සභා සංශෝධනයක් ගෙනැවිත් කල් දැම්මා. අදටත් ඒ ඡන්දය නෑ. පළාත් පාලන ඡන්දය ගන්නත් වසර 03 ක් ගියා. අද විපක්ෂයේ ඉන්න අය ඒ ඡන්දය කල්දාන්න පූර්ණ සහය දුන්නා. ජීවිත විනාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදය ලබාගන්න බැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධී අරගල කරන්නේ නම් ඊට මුහුණදීමට ජනාධිපති සූදානමින් ඉන්නවා.

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය –

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී විපක්ෂය සාම්ප්‍රදායක විපක්ෂයක් ලෙස කටයුතු කරනවා. අභියෝගයට අනුව භූමිකාව වෙනස් විය යුතුයි. නමුත් රටට පේනවා ඔවුන් සාම්ප්‍රදායක තත්ත්වයෙන් මිදෙන්න සූදානම් නැති බව.

ජනතාවගේ දැඩි කැමැත්තෙන් 2019 ජනපති පත්කර ගත්තා. සියයට 52 ක් ඡන්ද ගත්තා. ප්‍රධාන විරුද්ධවාදියා වූ සජිත් ප්‍රේමදාස ගත්තේ සියයට 40 යි. මහ මැතිවරණයේදී දැවැන්ත ඡන්ද බලයකින් තුනෙන් දෙකක ආණ්ඩුවක් බිහි වුණා. නමුත් ආර්ථික අභියෝග විසින් සියල්ල සුනු විසුනු වුණා.

මුදල් අමාත්‍යාංශය ඡන්දය එපා කියන්නේ නෑ. නමුත් ආර්ථික තත්ත්වය රැකගත යුතුයි. පෝලිම් යුගය නැවත ඇතිකරගත නොගත යුතුයි. අපේ නිසි කළමනාකරණය නිසයි පෝලිම් අද නැත්තේ. රටේ අත්‍යවශ්‍ය වියදම් කල් දාන්න බැහැ. ඖෂධ, වැඩිහිටි ආධාර, වකුගඩු රෝගීන්ගේ ආධාර, ශිෂ්‍යත්ව ආධාර, පෙර පාසල් පෝෂණ ආධාර, පාසල් පෝෂණ සේවා, බන්ධනාගාර සේවා, පොහොර සහනාධාර ආදිය ඒ අතර ප්‍රමුඛතා වියදම් වෙන්නේ. මේවා කල්දාලා මැතිවරණයට මුදල් දෙන්නද කියන්නේ.

පෙබරවාරි මාසයේ අඩුම ආදායම් ලැබෙන මාසයක්. ඒ නිසා වියදම් වැඩියි, ආදායම අඩුයි. මැතිවරණයට මුදල් දීම ගැන නොවෙයි ප්‍රශ්නය ප්‍රමුඛ වියදම් පවත්වාගෙන යෑම සිදුකළ යුතුයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලිවම අධිකරණයට කිව්වා රටේ ආදායම් වියදම් තත්ත්වය. පවුල් 28 ලක්ෂයකට සහල් බෙදන්න සිදුවී තිබෙනවා. පවුල් ලක්ෂ 58 යි ඉන්නේ. රටේ මුදල්වලින් භාගයකට වඩා ජීවත් කරවීමට රජයට සිදුවී තිබෙනවා. ඔවුන් මාස දෙකක් සහල් ලබා දෙනවා. රට ගොඩගැනීමට රජය කැපවී තිබෙන බව ලොවටම පේනවා. තවත් ඒ වෙනුවෙන් බදු ගෙවන ජනතාව කැපවිය යුතුයි. ඔවුන් රටේ වීරයෝයි. ඔවුන්ගේ බදුවලින් තමයි ජනතාව ජීවත් කරවන්නේ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර

විදුලිය, ජලය, ඉන්ධන සඳහා දියයුතු සහන ජනතාවට දිය යුතුයි. එහෙත් සහන නොලැබිය යුතු යමක් තියෙන අයටත් ඔක්කොටම එකම මුදලට භාණ්ඩ තියෙන්නේ එහෙම වෙන්න බැහැ. පන්ලක්ෂයකට රැකියා නැති වෙනවා. තවත් ලක්ෂ ගණනකට රැකියා නැතිවෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වැසී යෑම නිසා ලක්ෂ 35 කට ජීවනෝපාය අර්බුදයක් වෙලා. ජනාධිපතිට ඕන විදිහට ඡන්ද තියන්නත්, නොතියන්නත් බැහැ. නීතියට අනුව ඡන්දය පැවැත්විය යුතුයි.

දිගාමඬුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් වීරසිංහ (ශ්‍රීලපොපෙ)

ජනතාවගෙන් සියයට 10 ක් වකුගඩු රෝගීන්. එය නැවැත්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළා. ඒත් එක රැයින් කරන්න ගිහින් ගොවියා අසරණ වුණා. දැන් ගොවියාට පොහොර ලැබෙනවා, වගා කරනවා.

අද ඩොලරය පහළ බැහැලා. සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. අම්පාර හෝටල් මාස කිහිපයකට වෙන් කරලා. දැන්වත් කුහක නොවී රට ගොඩනගන්න එක්වෙමු. ඡන්දයකට ගිහින් විනාශ වෙනවාට වඩා ඔක්කොම එක්වී රට ගොඩනගමු.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා (ශ්‍රීලපොපෙ)

මැතිවරණය තැබීම හරහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හරිද වැරදිද කියා තහවුරු කර ගත හැකියි. ආණ්ඩුව එයට හරිනම් නොබියව ඉදිරිපත් වී ඡන්දය තැබිය යුතුයි.

මැතිවරණය කල්දැමීමට උත්සාහ කරන්නේ ආණ්ඩුව බව පේනවා. විවිධ සමීක්‍ෂණ අනුව ප්‍රතිපක්ෂවලින් ආණ්ඩුව ඉන්නේ හතර වන ස්ථානයේ බව දන්නවා. ඒ නිසයි යන්නෙ නැත්තේ.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි –

එදා මාස ගාණක් රට වහලා තිබ්බා කොවිඩ් නිසා. විපක්ෂය ලියුම් දුන්නා රට වැටුණත් කමක් නැහැ රට වහන්න කිව්වා. රට හදාගන්න පුළුවන් කිව්වා. මාස ගණන් වැහුවත් පඩි ගෙව්වා. රුපියල් 5000 හේ ඒවා දුන්නා. දසදහසක බඩු මලු ජනතාවට දුන්නා. රෝග නිවාරණයට එදා රජය කටයුතු කළා. එයත් සමගයි ආර්ථික ප්‍රශ්න ආවේ. මේ රටට අපනයන ඉපැයුම්වලින් ඩොලර් ලැබීමට සමහර ව්‍යාපාරිකයන් කටයුතු කළා. කොවිඩ් මරණ වළලන්න එපා කියලා සමහර වෛiවරු කියලා ජාතීන් අතර වෛරය වැපුරුවා. පසුව ඔවුන් අරගලයට ගිහින් මුස්ලිම් අය සමග බුරියානි කෑවා.

ගුරු වෘත්තීය සමිතිවල ස්ටාලිංලාගේ ක්‍රියාකලාප නිසා දරුවන්නේ විභාග කල් ගියා. දරුවන් අසරණ වුණා. දැනටත් විභාග කල් යනවා. රටට වරදිනවට වැඩියෙන්ම කැමැති ස්ටාලිංලාගේ වෘත්තීය සමිතියි. තාමත් දරුවන්ගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්නේ නෑ. මානව හිමිකම් ගැන ඔවුන් කතා කරනවා. රුපියල්වලට යටවෙලා දරුවන්ගෙන්

පළිගන්නවා. රුපියලේ අගය වැඩිවීම සමහරුන්ට දරාගන්න බැහැ. හැම දෙයටම විරෝධය පළ කරන අයගෙන් ඉල්ලනවා රට ගැන සිතා කටයුතු කරමු කියලා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් අයි . එම්. එෆ්. එක්ක වැඩ කරන එක බව අපි එදා සිට කිව්වා. නමුත් ඒ සහනය ලබාගත් පමණින්ම ඉබේ රට ඉදිරියට යන්නේ නෑ. මොන සහන දුන්නත් රටේ මිනිස්සු කුපිත කරලා රටේ තියෙන ප්‍රධාන කුළුණු තුන විරසක කරලා රට හදන්න බෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා (ශ්‍රීලපොපෙ) –

ජනාධිපතිවරයාගේ පත්වීම නීති විරෝධී නම් විපක්ෂයේ අපේක්‍ෂකයාටත් සහාය නොදී වැළකී ඉන්න තිබුණා. පළාත් පාලන මැතිවරණය විකෘතියක් කියලා ගියවර ඡන්දයෙන් පස්සේ හැමෝම කිව්වා. මේ මැතිවරණය ක්‍රමය විකෘතියක්.

ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නෑ. විපක්ෂය කෙළඹදී විරෝධතාවක් තියන්න ගියත් අසාර්ථක වුණා. අයවැයෙන් මුදල් වෙන්කළත් මුදල් දෙන්න ලැබිය යුතුයි. ඡන්දය තිබ්බත් කාටවත් හරියට බලය පිහිටුවන්න බෑ. ඒ නිසා කොට්ඨාස නිර්ණය කර සභිකයන් අඩු කරලා නිවැරැදි ක්‍රමයක් හදන්න අවශ්‍යයි. ජනතාවට වඩාත් හොඳ දෙයක් හදන්න අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව හැදුවේ විකෘති ක්‍රමයක්. එය වෙනස් කිරීම අපේ වගකීමක්. අටදහසකට තවත් වසර 4 ක් පඩි ගෙවන්න අවශ්‍ය නෑ. මේ ක්‍රමය නිවැරැදි කර මේ වසරේ මැතිවරණය තියන්න.

පාර්ලිමේන්තුව අද (10 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment