රෝගියා රෝහල්ගත නොකළ සුවසැරිය ගැන තොරතුරු මුදාහරින්න නියෝග

55

1990 ගිලන් රථයක් ගැන තොරතුරු කොමිසමෙන් දුන් පළමු තීන්දුව

පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය උඩුබද්දාව මාර්ගයේ දී අනතුරට පත්වී යැයි කියන පුද්ගලයකු රෝහල් ගත නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය කටයුතු කළ ආකාරයට අදාළ තොරතුරු එම ඉල්ලා සිටි පුද්ගලයාට ලබන 29 වැනිදාට පෙර මුදා හැරිය යුතු බවට තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව 29 වැනිදා තීන්දු කළේය.

1990 සුවසැරිය ගිලන් රථ සේවයට අදාළව තොරතුරු කොමිසම ලබා දුන් පළමු තීන්දුව මෙය බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.

පුත්තලම ලුණුවිල පදිංචි ආර්. බී. ජේ. සුරංග මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවාවෙන් මෙම තොරතුරු ඉල්ලා ඇත්තේ 2022 මැයි මස 26 වැනිදා අනතුරකට ලක්වී යැයි කියන තම සහෝදරයා ගිලන් රථයෙන් රෝහලට ගෙන නොයෑමේ සිදුවීමක් සම්බන්ධයෙනි. සුරංග මහතාගේ සහෝදරයාට සිදුවීයැයි කියන අනතුර සැක සහිත බවට පොලිසියට පැමිණිලි කර ඇති අතර අනතුරෙන් සහෝදරයා මරණයට පත්වී තිබිණි.

ගිලන්රථ සේවයට එම අනතුර සම්බන්ධයෙන් පණිවිඩය ලැබුණු වේලාව, ගිලන් රථයේ එම ස්ථානයට පැමිණි අයගේ විස්තර, අදාළ ස්ථානයට ගිලන් රථය ළඟා වූ වේලාව සහ එම ස්ථානයට ළඟා වූ පසු සේවාවක් සැපයීමෙන් වැළකී සිටීමට හේතුව ඇතුළු තොරතුරු සුරංග මහතා විසින් ඉල්ලා තිබිණි. එම තොරතුරු පෞද්ගලික තොරතුරු බව කියමින් තොරතුරු ලබාදීම 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු මෙම අභියාචනය කර තිබිණි.

අභියාචනය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරියේ 29 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදී අභියාචක සුරංග මහතා සහ ගිලන්රථ සේවාවේ නිලධාරීහු කොමිසම ඉදිරියේ පෙනී සිටියහ. කොමිසම හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ තොරතුරු කොමිසම අදාළ තොරතුරු ඉල්ලුම්පත්‍රයේ ඉල්ලා ඇති තොරතුරු අතුරෙන් තොරතුර සැපයූ පුද්ගලයාගේ නම සහ දුරකථන අංකය හැර සෙසු සියලු තොරතුරු ලබන 29 වැනිදාට පෙර සුරංග මහතාට මුදා හැරිය යුතු බවට තීන්දු කළේය.

තොරතුරු පනත අනුව කොමිසමේ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම හිතමතා පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද කොමිසම සඳහන් කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment