රෝහල්වල මෙන්ම ෆාමසිවලත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් නෑ

188

මෙම දිනවල දිවයිනේ පෞද්ගලික ඔසුසල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග රැසක හිඟයක් පවතින අතර රජයේ රෝහල්වල ද බොහෝ බෙහෙත් වර්ගවල අඩු සැපයුමක් පවතින බව ඖෂධවේදීහු පවසති.

බෙහෙත් ආනයනකරුවන්ගේ ඉල්ලීම මත බෙහෙත් වර්ගවල මිල ගණන් සියයට 28කින් වැඩි කළ පසු පෞද්ගලික ඔසුසල්වල බෙහෙත් සැපයුම යථා තත්ත්වයට පත් වූ බව ඔසුසල් හිමියන් කියා සිටිය ද මේ වන විට දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග ඇතුළු රෝග ගණනාවකට නිර්දේශ කරන බොහෝ බෙහෙත් වර්ග එම ඔසුසල්වල දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

රජයේ රෝහල්වල ද මෙම බෙහෙත් වර්ගවල අඩු සැපයුමක් පැවතීම නිසා රෝගීන්ට එම බෙහෙත් වර්ග ලබා ගැනීමේ දැඩි අපහසුතාවක් මතුව ඇති බව රෝහල් අංශ පවසයි.

මෙම තත්ත්වය මත දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග ඇතුළු රෝගාබාධවලින් පෙළෙන අයගේ එම රෝග තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍යවරු පවසති. කොළඹ නගරයේ පවතින ප‍්‍රධාන පෙළේ ඔසුසල්වල ඇතැම් බෙහෙත් රාක්ක හිස්ව ඇති බවද ඔවුහු කියා සිටිති.

එහෙත් මේ පිළිබඳව විමසූ විට පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් කියා සිටියේ එවැනි බෙහෙත් හිඟයක් නොමැති බවයි. රජයේ රෝහල්වලද බෙහෙත් තොග සැපයුම අඩු වී තිබීම හේතුවෙන් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තොග නිතර නිතර අඩු වීමක් දක්නට ලැබෙන බව රෝහල් ඖෂධවේදීහු පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment