ලයිට් ගාමිණි ආලෝකාලංකාරය 18 වැනිදා

161

ප්‍රථම වරට වගකීම් සහිතව නාට්‍යයක් සඳහා විදුලි ආලෝකය මෙහෙයවීමට ගාමිණීට අවස්ථාව ලැබෙන්නේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ වේදිකාගත වූ රතු හැට්ටකාරි වේදිකා නාට්‍යයෙනි. එකල රුපියල් පහක් වැනි වේතනයකට සිය නිර්මාණ හැකියාව ලබාදුන් ගාමිණි එතැන් සිට සිරිලක සතර දිග් බාගයේම වේදිකා මත නානා විධ වේදිකා නාට්‍ය සඳහා ආලෝකය සැපයීම පිණිස කැපවූවා. මෙකල සෝමලතා සුබසිංහ මහත්මියගේ වේදිකා නාට්‍යයන් සඳහා රංගාලෝකයෙන් සම්බන්ධවීම ගාමිණිගේ හැකියාවන් වඩාත් උද්දීපනය වීමට මහඟූ මගමානයක් වුණා. ඇය සමඟ ‘කතන්දර දෙකෙන්’ පටන් ගත් ගමන ‘විකෘති’ දක්වා අඛණ්ඩව විහිදුණා. වේදිකා විදුලි ආලෝකය යනු ආලෝක කදම්බ වේදිකාව මත විසුරුවාලීම නොව එය ආලෝක රටාවන් රංගන ප්‍රකාශනයට උචිතාකාරයෙන් සංයමයකින් මෙහෙයවීම බව විකෘති නාට්‍යයේ ආලෝක පිටපත සැකසීමත් සමඟ ගාමිණි වටහා ගනු ලැබුවා.

පසුව ඩග්ලස් සිරිවර්ධනයන්ගේ අඹුසැමියෝ, හිට්ලර්, සුබ සැන්දෑවක් වැනි නාට්‍යයන්හි දී ද ප්‍රධාන ආලෝක ශිල්පියා ලෙස ගාමිණි කටයුතු කරනු ලැබූ අතර ඔහු ප්‍රථම වරට හොඳම රංගාලෝක ශිල්පියාට හිමි රාජ්‍ය සම්මානයට පාත්‍ර වන්නේ හිට්ලර් තුළින්. ඒ 1986 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී යි. එදා මෙදා තුර වේදිකා නාට්‍ය සියයක් ඉක්මවා රංගාලෝක මෙහෙයුම් ශිල්පියකු ලෙස මෙන්ම පරිණත රංගාලෝක නිර්මාණ සැලසුම් ශිල්පියකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ඇසිදිසි මිහිර, ස්වර්ණ කුණ්ඩල, සුන්දර ගී, ශ්‍රවන රමණී වැනි ප්‍රාසාංගික සංගීත දර්ශන සඳහා ද ඔහු ප්‍රධාන ආලෝක ශිල්පියා ලෙස කටයුතු කර තිබෙනවා. විවිධ රාජ්‍ය උත්සවයන්හි වේදිකා ආලෝක සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කර මනා අද්දැකීම් ලබා ඇති ඔහු ස්වර්ණ සංඛ චිත්‍රපට සම්මාන උළෙලේ පිට පිට හත්වරක්ම ප්‍රධාන ආලෝක සැලසුම් ශිල්පියා වීමම අපූර්වත්වයක්. වේදිකා නාට්‍ය ආලෝකකරණය පිළිබඳව ඔහු ජපාන, ඉන්දියානු මෙන්ම ජර්මානු පාඨමාලාවන් හදාරා ඇති විෂයය ප්‍රාමාණික විද්‍යාර්ථියෙකි. සයිමන් නවගත්තේගම, දයානන්ද ගුණවර්ධන වැනි එකල නාට්‍යකරුවන් මෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි වැනි මෙකල නාට්‍යකරුවන් ඇතුළු කරළියේ බොහෝ ප්‍රවීණයන් 150 සමඟ නාට්‍ය පන්සියයකට වැඩි ප්‍රමාණයක කරළියේ ආලෝක පෙරළි කරමින් ඇගයීමට ලක්වීමට ගාමිණි හේමචන්ද්‍රයන් පිං පුරා තිබෙනවා. මේ කාලය අතරතුර ඔහු චීනය, ජපානය, ජර්මනිය, මැලේසියා, ඩුබායි වැනි රටවල් 18 ක පමණ සංචාරය කර තිබෙන්නේ නාට්‍ය මෙන්ම නර්තනයන් සඳහා ද ආලෝකය නිර්මාණය කිරීමට යි.

කාලයාගේ ඇවෑමෙන් ගාමිණි හේමචන්ද්‍රයන් ලයිට් ගාමිණි යන අන්වර්ථ නාමයට රූපාන්තරණය වුණා. එදා මෙදා තුර ඔහු හඳුනාගැනුනේ ලයිට් ගාමිණි යන නාමයෙන්. ලයිට් ගාමිණි වත්මන් වේදිකා නාට්‍යයන්ට අමතරව මුද්‍රා නාට්‍යය, නාඩගම්, නුර්ති මෙන්ම එළිමහන් පාස්කු නාට්‍ය සඳහා ද විදුලි ආලෝකකරණ නිර්මාණ සැලසුම්කරුවකු ලෙස කටයුතු කර තිබෙනවා.

මහපොළ, ගම්උදාව වැනි දැවැන්ත වේදිකාවන්හි පවා විදුලි ආලෝකකරණ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කර ඇති ලයිට් ගාමිණිගේ වෘත්තීය දිවියට පනස් වසරක් ඉක්ම ගිය ද වේදිකාව හැර නොගොස් කරළියේ ආලෝකාලංකාරය වෙනුවෙන් දිවිතුරා කැපවී සිටින අතර ආලෝකකරණයෙන් ඉසිඹු නොලබා කටයුතු කරන ගාමිණි හේමචන්ද්‍රයන්ගේ යුග කාර්යය ඇගයීම පිණිස 2024 ජනවාරි 18 වන දින සවස 6.00 ට ඔහු වෙනුවෙන් අභිනන්දන උළෙලක් සංවිධානය කිරීමට වේදිකාවට හිතැති කලාකරුවන් පිරිසක් සහ ගාමිණිගේ පවුලේ අය කටයුතු කර තිබෙනවා. එය ගාමිණි හේමචන්ද්‍රයන් සම්බන්ධ වූ නාට්‍ය ගීත ජවනිකා 20 කින් පමණ සමන්විත ඉතා අගනා ප්‍රාසාංගික අත්දැකීමක්. නොමිලේ පැවැත්වෙන මෙම සොඳුරු සුයාමයට එක්වන ලෙස සංවිධායක කමිටුව මෙන්ම ගාමිණිගේ පවුලේ අය කලාරුචි සියල්ලන්ටම විවෘත ආරාධනාවක් කරනවා.

අජිත් මෙන්ඩිස්

advertistmentadvertistment
advertistmentadvertistment