ලෙඩ කතාවක්

1082

වෙද මහත්තයකු හෝ දොස්තර මහත්තයකු හමුවීමට යන අසනීපකාරයෙක් එසේ බෙහෙත් ගෙන පළමු වරට සුව වූයේ කවදාද යන්න හරියටම නිශ්චිත නැතත් මනුෂ්‍ය සංහතිය සෞඛ්‍ය නමැති විෂයක් ස්වභාවධර්මය විසින් තමන්ට හඳුන්වා දී ඇති බව දැනගන්නේ මීට අවුරුදු 13000 ට පෙරය. මෙයට කලකට පෙර ඉතාලියේ කළ කැණීම්වලදී හෙළිදරව් වූ පරිදි මෙයට අවුරුදු 13000 ට පෙර ඉතාලියේ ජීවත්වූ ප්‍රාථමික මිනිස්සු නරක් වූ දත් ගැලවීම, නරක් වූ දත් සුද්ද කිරීම වැනි කටයුතු කර තිබේ. එකල විසූ දත් රෝගීන් ස්වකීය දන්ත සායනික කටයුතු වලදී Psilocybin නමැති හතු වර්ගයක් යොදාගෙන ඇත. මේ අතර මීට අවුරුදු තිස්තුන් ලක්ෂයකට පෙර විසූ ආදී වානර මනුෂ්‍ය වර්ග ද උදරාබාධ හෝ වෙනත් රෝග සඳහා විවිධ පැළෑටි වර්ග අනුභව කර තිබේ. මේ පුරුද්ද තිරිසන් සතුන් අතර අදටත් එසේම පවතී. බිළාල ගෝත්‍රයට අයත් සත්තු උදරාබාධයක් සෑදුනු කල්හි කුප්පමේනියා සහ බැල තණ යන පැළෑටි අනුභව කරති. එහි සාරය උරාගත් පසු මේ ඖෂධීය පැළෑටි හපය ගිලන් වූ බිළාලයා විසින් වමනය කොට පිටකරනු ලැබේ. බඩේ අමාරුවට මේ පැළ වර්ග අනුභව කළ යුතු යැයි පූසන්ට කව්රුවත් කියාදී නැත. එම පාඩම උපදින විටම බිළාල ගෝත්‍රයේ සතුන්ගේ ඔළුව ඇතුලේ තිබේ. ස්වභාව ධර්මය විසින් අප බිහිකරන ලද්දේ බෙහෙත් සමගය. අප ශිෂ්ටාචාරය දිගේ ඉදිරියට පැමිණෙද්දී පරිසරයේ තිබෙන බෙහෙත් පැළ ආසව, අරිෂ්ට, ගුලි, කල්ක යනාදිය බවට පත්විය. ශ්‍රී ලංකාවට ද ඉතා පැරණි වෛද්‍ය ඉතිහාසයක් තිබේ. ලෝකයේ පැරණිම ඇස් රෝහල මතුවී ඇත්තේ පොලොන්නරුවෙනි. මෙය අවුරුදු 2000 ට වඩා පරණ බව විශ්වාස කරනු ලැබේ. ශ්‍රීමත් හාවඩ් කාටර් නමැති පුරාවිද්‍යාඥයා ඊජිප්තුවේ තූතන් කාමන් රජතුමාගේ පිරමීඩ සොහොන හාරන ලද කල්හි එහි තිබී වසර 5000 ක් පමණ පැරණි බෙහෙත් වර්ග සහ බෙහෙත් පැළෑටි හමුවිය. සෞඛ්‍ය යනු ලෝකවාසී ජනතාව සමග ඉතා බලවත්ව ඈඳී තිබෙන ප්‍රශ්නයකි. මේ නිසා සෞඛ්‍ය මුල්කරගෙන හටගන්නා ප්‍රශ්න ජනතාවගේ හිතට තදින්ම වදී. මීට දින කිහිපයකට පෙර කොළඹට නුදුරු රෝහලකදී තුන් නිවුන් දරුවන් සහ මවක් එම දරු ප්‍රසූතියේදීම මියයෑම විශාල කැළඹීමක් ඇති කළේය. විවිධ සැත්කම් වැරදීම, ලෙඩුන් මියයෑම, කනට වෙනුවට කකුලේ මහපට ඇඟිල්ලට බෙහෙත් කිරීම, කටේ තිබෙන අමාරුවක් සඳහා පස්සා පැත්තට බෙහෙත් බැඳීම වැනි විකාර රූපී දේවල් විටින් විට මේ රෝහලින් වාර්තා විය. රෝහලක් තුළ සිදුවන වැරදි සම්බන්ධයෙන් අපි වෛද්‍යවරුන්ට රෝහල් කාර්ය මණ්ඩලයට 100% ක්ම දොස් කියන්නේ නැත. 50% ක් දොස් කියන්නේත් නැත. අප දොස් කියන්නේ 10% ක් පමණි. ඕනෑම ක්‍රියාවලියක් තුළ 10% ක wastage එකක් ඇත. භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර නිෂ්පාදනය කිරීමේදී 10% ක wastage එකක් හෙවත් අපතේ යෑමක් සිදුවෙයි. හැබැයි මේ රටේ ඇතැම් රෝහල්වල එම අපතේ යෑමේ සාමාන්‍යය 50% දක්වා නගින අවස්ථා තිබේ. අප කතා කරන්නේ එම 50% ගැනය. මන්ද, රටේ සෞඛ්‍යය 50% ක් අවදානමේ නම් එම රටේ ජනතාවගෙන් 50% ක්ද අවදානමේ ය.

සෞඛ්‍ය නමැති විෂය දෙස බැලීමේදී ප්‍රශ්න හටගත හැකි අංශ 10 ක් තිබේ. මින් පළමුවැන්න නම් පෝෂණය පිළිබඳ ප්‍රශ්නයයි. මේ රටේ සාමාන්‍ය ජනයාට ඇතැම් අවස්ථාවලදී මන්දපෝෂණයට මුහුණ පෑමට සිදුවේ. ඒ අතර තවත් පිරිසක් අති විශාල ලෙස මහත්වී ස්ථුලභාවය නමැති සෞඛ්‍ය අවදානමට මුහුණ දෙයි. මීළඟ සෞඛ්‍ය ප්‍රශ්නය වන්නේ දුම්කොළ ය. හැදෙන තරමක් ස්වසන රෝග පිටුපස දුම්කොළ නමැති මාරාන්තික සාධකය ඇත. ඊළඟට අපට ඇති සෞඛ්‍ය ප්‍රශ්නය නම් ඇබ්බැහිකමය. පිරිමි සහ ගැහැනු විවිධ දේවලට ඇබ්බැහි වී අකාලයේ මියෙති. ඒඩ්ස් ද මනුෂ්‍යයාගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයකි. එසේම මානසික සෞඛ්‍ය පරිහානිගතවී ඇති අතර ඇතැම් අය රිවර්ස් එකට සිතීමත් එම නිසා රටේ වැඩි කොටසක් රිවර්ස් වීමත් සිදුවේ. පරිසරයේ ගුණාත්මක තත්ත්වය ද සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වේ. පරිසරය ගුණාත්මක නම් අපට ලෙඩ රෝග අඩුය. එය ගුණාත්මක බවින් අඩු නම් මිනිසුන් විවිධ විෂවීම්වලින් මැරෙන්නට පටන් ගනී. එන්නත්කරණය හරිහැටි සිදුකර මිනිසාගේ ප්‍රතිශක්තිකරණය නැංවීමට අපහසු වන හැම අවස්ථාවකදීම ජන සමාජය අලවෙන හැටි අපි දැක ඇත්තෙමු. ගිය ආණ්ඩුව කොවිඩ් එන්නත් වැඩපිළිවෙළ හරියටම කළේය. අවසන් වශයෙන් සෞඛ්‍ය පහසුකම් කෙරෙහි පොදු ජනයාට ප්‍රවේශයක් නැති වීම ගැන ද අප කතා කළ යුතු වෙයි. රෝගී තත්ත්වයක් තුළදී නිසි ප්‍රතිකාරවලට යොමුවීම හැමටම ඇති අයිතියකි. මේ අයිතිය අද තීරණය වන්නේ මුදල් මතය. මේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඖෂධවල ප්‍රමිතිය විවේචනය කරමින් තැන තැන ඇවිදිති. ඒ තත්ත්වය කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුය. ඕනෑම රටක් සිය අයවැය ලේඛනයෙන් 10% ත් 15% ත් අතර වෙන් කරන්නේ සෞඛ්‍ය පහසුකම් උදෙසාය. මේ තත්ත්වය තේරුම්ගෙන පරිස්සමින් ජීවත්වන කෙනකුට වෙන අයගේ ආයු කාලයට වඩා සෑහෙන ආයු කාලයක් භුක්ති විඳිය හැකි බව අප තේරුම්ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment