ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් සැකකරු මහනුවර පොකැට් ගසන්නට යද්දී අල්ලයි

147

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට නවදිල්ලි සිනමා උළෙලේදී පිරිනැමුණු රණමයුර සම්මානය (Golden Peacock Award) සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මහනුවර පෙරහැර සීමාවට ඇතුළු වී මුදල් පසුම්බියක් සොරාගැනීමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් 21 දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීම වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මෙම සම්මානය හිමිව තිබිණි.

ලියාපදිංචි අපරාධකරුවකු වන සැකකරු 71 වැනි වියේ පසුවන බව පොලිසිය පවසයි.

සැකකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවූ දින නිවසේ විශාල ජනතාවක් රැස්ව සිටියදී මෙම සම්මානය සොරාගෙන තිබූ අතර පසුව පොලිසිය පරීක්‍ෂණ පවත්වා සැකකරු හඳුනාගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

පළමු කුඹල් පෙරහැරට අතිවිශාල ජනතාවක් පෙරේදා මහනුවරට පැමිණ සිටි අවස්ථාවේ මොහු ජනතාව අතර තෙරපෙමින් පෙරහැර මාර්ගයට ඇතුළු වී කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බිය සොරා ගැනීමට ගිය අවස්ථාවේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අවට සිටි පිරිසගේ ද සහාය ඇතිවය. පොලිස් අපරාධ කොට්ඨාසයට වාර්තා වී ඇති අපරාධකරුවන් පෙරහැර සමයේ මහනුවර ගැවසෙන්නේ ද යන්න හඳුනාගැනීම පිණිස සී.සී.ටී.වී. කැමරා සවිකළ වාහන නිලධාරීන් සමඟ නගරය තුළ ධාවනයේ යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලීන් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment