වගා බිමට ඇද්ද විදුලි රැහැනේ පැටලී පියා හා තෙහැවිරිදි දියණිය මරුදකිති

391

තාත්තා අපිට උදේ කිරිබත් හදා දුන්නා එකළොස් හැවිරිදි පුතා කියයි

වගා බිමේ ආරක්ෂාවට යොදා තිබූ විදුලි රැහැනක පැටලී ගම්පොල පොලිස් කොට්ඨාසට අයත් කොත්මලේ, කොටගේපිටිය මාඉප්පල ගමේ තිස් දෙහැවිරිදි පියකු හා තෙහැවිරිදි දියණියක ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සුනිල් ශාන්ත කුමාර හා ඔහුගේ දියණිය එස්. එම්. අභින්නියා නම් දරුවෙකි. මියගිය සුනිල් ශාන්තගේ බිරිඳ මීට මාස හතරකට පෙර විදේශගතව ඇති අතර මොහුගේ අවුරුදු 11 හා 7 වයස්වල පිරිමි දරුවන් දෙදෙනා හා මෙම දියණිය සමග මොහු නිවසේ ජීවත්ව ඇත. මෙම නිවසට යාබදව මොහු එළවළු වගාවක් පවත්වාගෙන යන අතර එහි ඇති මිරිස් වගාව සතුන්ගෙන් බේරා ගැනීම සඳහා අඩියක් පමණ උසට කම්බි ගසා එයට විදුලිය සම්බන්ධ කර තිබී ඇත. ඊයේ (29 දා)උදෑසන අවදිව ආහාර පිසීමෙන් අනතුරුව මොහුගේ පිරිමි දරුවන් දෙදෙනා පාසල් යවා කුඩා දියණියට ද කෑම කවා තිබේ.

වගා බිමට ඇද්ද විදුලි රැහැනේ පැටලී පියා හා තෙහැවිරිදි දියණිය මරුදකිති
විදුලි සර වැදුන වගා බිමේ පරීක්ෂණ පවත්වන ආකාරය

ඔහුගේ වැඩිමහල් පුතු පවසන්නේ පාසල් ගෙන යෑම සඳහා තාත්තා කිරිබත් සාදා දුන් බවයි. මෙම දරුවන් දෙදෙනා මාස්වෙල විද්‍යාලයේ 6 ශ්‍රේණියේ හා 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මොහු මිරිස් සඳහා බෙහෙත් ඉසීම සිදු කළ ද කම්බි සඳහා යොදා තිබූ විදුලි සර ඉවත් කිරීමට මොහුට අමතකව ගොස් තිබී ඇත. මොහු වගා බිමේ සිටින අවස්ථාවල තනිව සිටින දරුවා ද ඔහු සිටින බිමේ ඇති ගල්තලාවේ සෙල්ලම් කරන බව ඥාතීහු පවසති. මේ ආකාරයට දරුවා ප්ලාස්ටික් කෝප්පයක් ද රැගෙන වගා බිමට ගොස් ඇති අතර දෙදෙනාටම විදුලිසර වැදී බිම වැටී සිටින අයුරු දුටුබව සුනිල් ශාන්තගේ සහෝදරයා පොලිසියට පවසා තිබිණි. මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් නිලන්ත පිලපිටිය මහතා ඊයේ (30 දා) පැවැත්වීය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති එම්. එම්. එච්. එස්. යාලගම, ගම්පොල ස්ථානීය පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර පොලිස් සැරයන් (20191) නිලන්ත හේරත්, (12642) ගාමිණී රත්නායක, (21002) බන්දුල රත්නායක, කාන්තා පොලිස් සැරයන් (2972) ඉනෝකා උඩගෙදර ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment