වගා හානිවලට වැඩිම වන්දි මෙවර

62

පවතින නියඟය නිසා වගා හානියට ලක්වූ වී සහ අනෙකුත් භෝග වගා ඉඩම්වලට වන්දි සඳහා මෙතෙක් ඉතිහාසයේ ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය තක්සේරු කර ඇති ආකාරයට මෙවර කුඹුරු අක්කර 65,000ත් 70,000ත් අතර ප්‍රමාණයක් හානියට ලක්වනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනට කෘෂි රක්‍ෂණ මණ්ඩලය මගින් හානි වූ අක්කරයකට ගෙවනු ලබන මුදල වන රුපියල් 40,000 බැගින් ලබා දුනහොත් අක්කර 70,000 කට රුපියල් කෝටි 2800ක් ගෙවිය යුතු වේ. නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ අක්කරයකට ගෙවනු ලබන මෙම මුදල ප්‍රමාණවත් නොවන බවය. ඒ අනුව දැනට ගෙවනු ලබන මුදලට වඩා වැඩි මුදලක් අක්කරයකට ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේ වුවහොත් රුපියල් කෝටි 4000 කට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඉකුත් 25 වැනිදා වනවිට වගා හානියට ලක්ව ඇති වී සහ අනෙකුත් භෝග අක්කර ප්‍රමාණය 54,753.06ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඉන් කුඹුරු අක්කර 54,408.64ක් වන අතර සෙසු භෝග වගා අක්කර ප්‍රමාණය 344කි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment