වසංගත විද්‍යා අංශය යුද හමුදාවට වැඩි සැලකිල්ලක් දැක්වීමෙන් එන්නත්කරණය අර්බුදයකට ලක්වෙලා

140

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්

වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා එන්නත් බෙදා දීමේදී යුද හමුදාව වෙත දක්වන වැඩි සැලකිල්ල සහ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් එන්නත්කරණ ක‍්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (02 වැනිදා* ‘දිවයින’ ට අදහස් දක්වමින් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා වෙත දක්වන අසාමාන්‍ය ලැදියාවත්, විද්‍යාත්මක නොවන අක‍්‍රමවත් තීරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා සිදු කරන බලපෑමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව හෙතෙම චෝදනා කළේය.

මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අංශයෙන් ක‍්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණවත් ලෙස නිකුත් කිරීම වසංගත රෝග විද්‍යා අංශය වෙත පැවරෙන වගකීමක් වන නමුත් වසංගත රෝග විද්‍යා අංශය රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා ලබා දෙනු ලබන්නේ සුළු ප‍්‍රමාණයක් බවත් සෙනාල් ප‍්‍රනාන්දු මහතා අනාවරණය කළේය.

එහෙයින් සෞඛ්‍ය අංශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයන්හි අධික තදබදයක් ඇති වී තිබෙන බවත් සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා බොහෝ ස්ථානයන්හි එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණවත් නොවීම මත එන්නත ලබා නොගෙන පිටව යාමට ජනතාවට සිදුව ඇති බවත් කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment