වාර්තාවක් පිහිටුවමින් ජාතික බීච් වොලිබෝල් සටන හෙට සිට මීගමුවේදී

131

ඉතිහාසයේ පළමු වතාවට ජාතික බීච් වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 200කට අධික ප්‍රමාණයක් සහභාගී වන 2023 ජාතික බීච් වොලිබෝල් තරගාවලිය (කාන්තා සහ පිරිමි) හෙට (19 වැනිදා) සිට ආරම්භ වේ.

වයස් කාණ්ඩ 4 කින් සමන්විත මෙම තරගාවලිය හෙට (19 වැනිදා) අනිද්දා (20 වැනිදා) සහ 21 යන දිනවල මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 210 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ බීච් වොලිබෝල් තරග සංවිධායක කමිටුව පවසයි.

පසුගිය වකවානුවේ පැවැති කොරෝනා තත්ත්වය හේතුවෙන් 2019 වසරෙන් පසු ජාතික බීච් වොලිබෝල් තරගාවලිය සංවිධානය කරන පළමු අවස්ථාව මෙය වේ.

මෙවර තරගාවලියට පාසල් මට්ටමෙන් වයස අවුරුදු 16 න් පහළ සහ 19 න් පහළ බාලක බාලිකා වශයෙන් පළමු වරට තරගාවලියක් සංවිධානය කොට ඇත.

දිවයිනේ පාසල් රැසක බීච් වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ කොට ඇති හෙයින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ජාතික මට්ටමින් අවස්ථාවක් ලබා දීමේ අරමුණෙන් අදාළ වයස් සීමා දෙක මෙවර තරගාවලිය සඳහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව වයස 16න් පහළ තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 36 ක් ද කාන්තා කණ්ඩායම් 31ක් ද වයස 19 න් පහළ තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 39 ක් සහ කාන්තා කණ්ඩායම් 12ක් ලෙස තරග වැදීමට අයදුම්පත් ඉදිරිපත් කොට තිබේ.

මීට අමතරව වයස 22 න් පහළ තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 23 ක්ද කාන්තා කණ්ඩායම් 11 ක්ද තරග වදින අතර තරගාවලියේ ප්‍රධානතම ඉසව්වන් වන විවෘත පිරිමි අංශය සඳහා කණ්ඩායම් 30 කට ආසන්න ප්‍රමාණයක් ද කාන්තා අංශය සඳහා කණ්ඩායම් 20 කට ආසන්න ප්‍රමාණයක් ද තරග වැදීමට නියමිත වේ.

මෙම සංඛ්‍යාවන් ඉදිරියේ දී තව වැඩි වීමට ඉඩ ඇති බවද තරග සංවිධායක කමිටුව පවසයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment