අරගල භූමි දෙකට පහර දීම – ජොනී, කහඳගම ඇතුළු 4 ක් සැක ලැයිස්තුවට – සනත් – මිලාන් – වසන්තා ඇතුළු 13 ක් රිමාන්ඩ්

294

දේශබන්දුගේ දුරකථන සීඅයිඩී භාරයට

ජොනීගේ ප්‍රකාශය ගැන විශේෂඥ වාර්තාවක් කැඳවයි


අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ  ගාලුමුවදොර පිටියේදී සාමකාමී විරෝධතාවක නිරතව සිටි පිරිසකට පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම, දිලිප් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන සිව්දෙනා නම් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය ඊයේ (01දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නාය. 04 – පිටුවට

මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි අනුව ඔවුන් සැකකරුවන් ලෙස නම් කරනා බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී විමර්ශනවල ප්‍රගතිය ඉදිරිපත් කරමින් කියා සිටියාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 7 දෙනකු සහ ඊයේ (01දා) ප්‍රථමවරට අධිකරණයට ඉදිරිපත් කළ පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6 දෙනකු ද ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

එම ගැටුම වැළැක්වීමට අවශ්‍ය පියවර නොගත් බවට චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා භාවිතා කළ පෞද්ගලික දුරකථන හා රාජකාරි ජංගම දුරකථන ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවත් පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති ජනහමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රැස්ව සිටි පිරිස ප්‍රකෝප ගන්වන අයුරින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා ගැනීම සඳහා මනෝ විiාඥයකු ඇතුළු විශේෂඥ වෛiවරුන් දෙදෙනෙකු වෙත යොමු කර ඇති බවත් අයේෂා ජිනසේන මෙනවිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

අධිකරණය විසින් පෙර නඩු දිනයේදී කරන ලද නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඊයේ (01දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ. විමර්ශනවලට සහාය දැක්වීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදීමේ නීතිමය බලයක් තමාට නොමැති බවත් එය කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය විසින් බවත් පොලිස්පතිවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. තමන් ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවශ්‍ය නිර්දේශ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව දන්වා ඇතැයිද පොලිස්පතිවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉදිරියේදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එදින අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසට උද්ඝෝෂකයන් රැඳී සිටි ස්ථානවලට පැමිණීමට බාධා නොකරන ලෙසට පොලිස්පතිවරයා විසින් කොළඹ දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාට එදින දහවල් 12.35 ට පමණ දුරකථනයෙන් දැනුම්දී ඇති බවත් ඒ බව ඔහු දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී විනාඩි කිහිපයක් ගතවීමටත් මත්තෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ද දේශබන්දු තෙන්නකෝන් මහතාට දුරකථන ඇමතුමක් ලබාදී එලෙසම පවසා ඇතැයි ද ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා හා ඉහළ ආරක්‍ෂක නිලධාරියකු එවැනි උපදෙස් ලබාදීම නිසා සිය සේවාදායකයා වහාම දුරකථනයෙන් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිළි කර ඇති බවත් ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ගාලුමුවදොර පිටියේ රැඳී සිටි පිරිසට පිටස්තරින් පැමිණි පිරිස සිදුකළ පහරදීම් මැඩපැවැත්වීමට පියවර ගත් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විරෝධතාකරුවන්ට පහර දීමට ජනතාව පෙළඹ වූ ඒ සඳහා කුමන්ත්‍රණය කළ ප්‍රධාන සැකකරුවන් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බවත් එම නඩුවට නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුවේ සැකකරුවන් හයදෙනකු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය. රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතීඥ උදාර කරුණාතිලක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක සහ නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියාය. සහකාර පොලිස් අධිකාරි ශානක ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණිල්ල මෙහෙයවිය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment