වාහන තොරණ කළොත් අනතුරු වැඩියි

134

අධික වේගය මාරක රිය අනතුරකට බලපාන ප්‍රධාන හේතුවකි. එම අනතුර දෙගුණ තෙගුණ කරන්නට බලපාන තවත් ප්‍රධාන හේතුවක් බවට වර්තමානයේ පත්ව ඇත්තේ රථ වාහනවල සිදුකර ඇති නවීකරණයන්ය. මේ බව පසුගියදා නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල සමර් සෙට් විකල්ප මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවට අනුවද තහවුරුවී තිබුණි.

පුද්ගලයන් 7 දෙනකුට මරු කැඳවමින්, 53 දෙනකු තුවාලකරුවන් බවට පත්කරමින් ඉකුත් ජනවාරි 20 වැනිදා සිදුවූ බස් රථයක්, ද්විත්ව කාර්ය රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පරීක්‍ෂකවරුන් හත් දෙනකුගේ සහභාගීත්වයෙන් පූර්ණ පරීක්‍ෂණයක් සිදුකර තිබුණි. මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ 16ක් ද ඉදිරිපත් කරමින් ඔවුන් සිය වාර්තාව නිකුත්කර තිබිණි.

කුරුණෑගල ප්‍රධාන මෝටර් වාහන පරීක්‍ෂක ආර්.එම්.ඒ.පී.කේ.එම්. රාජතේව, කුරුණෑගල මෝටර් වාහන පරීක්‍ෂක ආර්.එම්.ඒ.පද්මකුමාර, අනුරාධපුරය මෝටර් වාහන පරීක්‍ෂක ආර්.ආර්.පී.ඩබලිව්.එම්.ආර්.සී.ටී.බී. ගලගොඩ, නුවරඑළිය මෝටර් වාහන පරීක්‍ෂක එස්.එම්.ඩී.එල්. සේනානායක, වේරහැර මෝටර් වාහන පරීක්‍ෂක ඒ.ජී.එච්.සී. කුලතුංග, නුවරඑළිය මෝටර් වාහන පරීක්‍ෂක ඩී.එම්.ටී.ආර්. දිසානායක සහ බදුල්ල මෝටර් වාහන පරීක්‍ෂක ආර්.පී.එච්.එච්. රන්දෙණිය යන මහත්වරු මීට එක්ව තිබුණි.

වාහනයක් නවීකරණය ලෙස හඳුන්වන්නේ එම වාහනයේ නිෂ්පාදකයා විසින් වාහනයට එක්කර නොමැති උපාංග ඊට එකතු කිරීමය. ඒ සඳහා වාහන නවීකරණ පනතට අනුව එහි අනුමැතිය මත බාහිර උපාංග එක් කරගත හැකිය. නමුත් වර්තමානයේ බොහෝ රථ වාහන සඳහා එවැනි නවීකරණයන් සිදුකර ඇත්තේ නිසි අනුමැතියකින් තොරවය. එසේම ඇතැම් නවීකරණයන් සිදුකර ඇත්තේ වාහනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයකින් තොරව අලංකාරය ගැන පමණක් සිතාය. එය අති භයානකය. මේ බව රදැල්ල අනතුර සම්බන්ධ වාර්තාවෙන්ද හෙළිව ඇත. මෙම අනතුරට ප්‍රධාන වූ බස් රථයේ රෝදවල රිම් සියල්ලට එල්ඊඩී පහන් සහිත රිම් කප් යොදා ආවරණය කර තිබුණි.

නිෂ්පාදකවරයා විසින් රිම් නිර්මාණය සැලසුම් කරන්නේ වාහනය ධාවනය කරන විට ලැබෙන සුළං ධාරාව මගින් රිම් හා තිරිංග ඩ්‍රම් උපරිම ලෙස සිසිල් කිරීම සඳහාය. රිම් කප් යොදා ආවරණය කර තිබූ නිසා තිරිංග ඩ්‍රම් අධිකව රත්වීමට හේතුක්ව පැවැති බව අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙවැනි අලංකරණයන් මේ වනවිට මහමග ධාවනය වන බස් රථ, ත්‍රි රෝද රථ, මෝටර් රථ ඇතුළු රථ වාහන කොපමණකට යොදා ඇති දැයි කියා අවධානය යොමු කළ යුතුය. අනතුරක් වීමට පෙර එය වළක්වා ගැනීමට කටයුතු කිරීම සුදුසු බැවින් පොලිසිය හෝ මෝටර් වාහන පරීක්‍ෂකවරුන් මෙවැනි වාහන පරීක්‍ෂා කර ඒවා ඉවත්කිරීමට උපදෙස් දීමට පෙර වාහන හිමිකරුවන් ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කිරීම වඩා සුදුසුය.

වාහනයක නිෂ්පාදකයා විසින් ඉදිරිපස වාමුව, වීදුරු සහ පැති වීදුරු නිර්මාණය කරන්නේ රියැදුරුට උපරිම දර්ශනයක් ලබාගත හැකි අයුරිනි. අනතුරට මුල්වූ බස් රථයේ ඉදිරිපස මල් වැල්, මිදිවැල්, සුදු යකඩ බාර්, ස්ටීකර් ආදියෙන් අලංකාර කර තිබී ඇත. මේ සියල්ලෙන්ම ඉදිරි වාමුවම ආවරණය වී රියැදුරුගේ දර්ශනය සීමාවී ඇතැයි අනතුර සම්බන්ධ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙවැනි අලංකරණයන් මගී ප්‍රවාහන බස් රථ සහ චාරිකා සඳහා යොදාගන්නා බස් රථ කොපමණක භාවිත කර ඇති දැයි කියා වර්තමානයේ ධාවනය වන බස් රථ දෙස බලන විට සිතාගත හැකිය.

මෙවැනි අලංකරණයන් බස් රථ පමණක් නොව ත්‍රි රෝද රථවල පවා බහුලව දැකිය හැකිය.

ත්‍රිරේද රථවල අධික ශබ්දයෙන් යුත් බෆල් යන්ත්‍ර සවිකර සංගීත ප්‍රසංගයකදී පැතිරෙන හඬ හා සමාන වින්දනයක් ගෙන දෙන විලාසිතාවක් ද පසුගිය කාලයේ රැල්ලක් මෙන් පැතිර ගියේය. ඉන්පසු එම විලාසිතාවම අලංකාර එල්ඊඩී පහන් සහිත විලාසිතාවන්ද එක් කර තොරණ මෙන් අලංකාර කිරීම එක්ව ඇත. මේවා රථයේ හිමිකරුට වින්දනයක් වූවාට මගී ජනතාවට වේදනාවක්.

මෙවැනි විලාසිතා බොහෝ මගී ප්‍රවාහන බස් රථවලටද එක්කර තිබේ. එම විලාසිතා අනුව බස් රථ නම් කිරීමේ රැල්ලක්ද පවතී. නිල් කුරුල්ලා, කහ කුරුල්ලා, මීමැස්සා ආදී නම් ඒවාට එක්කර ඇත.

ඇතැම් වාහන අලංකරණය සඳහා වැයකර ඇති මුදල වාහනය මිලදී ගැනීමට වැය කළ මුදල මෙන් දෙගුණයක් පමණ බව හෙළිවී ඇත.

බොහෝ මගී ප්‍රවාහන බස් රථවල රූපවාහිනී යන්ත්‍ර, වායුසමීකරණ, දුරකථන පණ ගැන්වීමේ (චාජ් කිරීම) පහසුකම් ආදිය ඇතුළුව බොහෝ පහසුකම් යොදා ඇත්තේ නිසි ප්‍රමිතියෙන් තොරවය.

එනිසා මෙවැනි රථයක් අනතුරට ලක් වුවහොත් ඉන් මගී ජනතාවට සිදුවන හානිය දෙගුණ තෙගුණ බවට පත් වේ.

එසේම එවැනි වාහනවල බාහිර විදුලි පද්දති අනතුරකදී හානියට ලක්වීමෙන් ගිනි ගැනීමේ අවදානමද වැඩි වේ.

බොහෝ බස් රථවල වායු නළා සවිකර ඇත්තේ තිරිංග පද්ධතියට සම්බන්ධ නළයකින් වායුව සපයා ගනිමිනි. එවැනි නළා භාවිත කිරීමේදී තිරිංග පද්ධතියේ වායු පීඩනය අඩුවී තිරිංග නැතිවී යෑමේ හේතුවක් සිදු වේ.

වාහනයක පැති කණ්ණාඩි සවිකර ඇත්තේ යම් අනතුරකදී එම පැති කණ්ණාඩි තවත් වාහනයක ගැටුනහොත් එය පිහිටා ඇති ආකාරය වෙනස් වන ලෙසය. ඉන් සිදුවන අනතුර අවම වේ. නමුත් වර්තමානයේ බොහෝ රථ වාහනවල සවිකර ඇති පැති කණ්ණාඩි එලෙස වෙනස් වන අයුරින් සකස් කර නැත. එසේම සුදු යකඩ බට යොදා අලංකරණයද කර ඇත. මෙවැනි අලංකරණ නිසා අනතුරක් සිදුවූ විට ඉන් සිදුවන හානිය දෙගුණ තෙගුණ වේ.

විශේෂයෙන්ම පොදු මගී ප්‍රවාහන රථ තම වාහන නවීකරණය කිරීමේදී වාහනයේ අලංකරණය ගැන පමණක් නොසිතා ඉන් මගී ජනතාවට සිදුවිය හැකි අනතුරු ගැන සිතිය යුතුය.

එනිසා රදැල්ල අනතුරින් පාඩම් ඉගෙන ඒ සම්බන්ධව ලබාදී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමුවුවහොත් මෙවැනි වාර්තා හමස් පෙට්ටියට සීමා නොවනු ඇත.

යම් වාහනයක නවීකරණයන් සිදුකර ඇත්තේ නවීකරණ පනතට අනුව අනුමැතියකින් තොරව නම් එම බාහිර අලංකාර උපකරණ දින 10 ක් ඇතුළත ඉවත්කිරීමට උපදෙස් දේ. එසේ දින 10 ක් තුළ ඉවත් කළ නොහැකි උපකරණ ඇත්නම් ඒවා ඉවත්කරන තුරු වාහනය ධාවනය අත්හිටුවිය හැකිය. නමුත් වර්තමානයේ පවතින ආර්ථික ගැටලු මත පොදු මගී වාහන හිමියන් මුහුණදී ඇති දුෂ්කරතා හමුවේ මෙම නීති දැඩිව ක්‍රියාත්මක නොකිරීමට වාහන පරීක්‍ෂකවරුන්ද මානුෂිකවී ඇත. ඔවුනගේ එම මානුෂික බව අයථා ලෙස භාවිත නොකර වාහන හිමියන්ද තම වාහන අලංකරණය කිරීමේදී නිසි ක්‍රමවේදයට අනුව සිදුකිරීමට පියවර ගතහොත් මගී ජනතාවගේ ආරක්‍ෂාවටද එය විශාල රැකවරණයක් වනු ඇත. එවිට රියැදුරු දෑතට පමණක් නොව මගී ජීවිතවලට ද පිහිට ආරක්‍ෂාවක් හිමි වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment