අර්ථසාධක අරමුදලට රු.ට්‍රිලියන 12ක් අහිමියි?

309

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා අර්ථසාධක අරමුදලට වන බලපෑම කුමක්ද යන්න ගැන මේ දිනවල සමාජයේ වැඩි දෙනෙක්ගේ කතාබහට ලක්ව ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව ගැන කරුණු පැහැදිලි කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ දේශීය ණය ප්‍රශස්තකරණය නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂයන්ට කිසිදු බලපෑමක් නොවන බවත් එසේම ඒ සඳහා සියයට 9 ක වාර්ෂික පොලියක් සහතික වන බවත්ය. එහෙත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල්වලට දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා සහභාගි වීමට සහ නොවී සිටීමට වශයෙන් ප්‍රධාන විකල්ප දෙකක් ලබා දී තිබේ. මේ කවර විකල්පයට ගියත් එම අරමුදල්වලට බලපෑමක් සිදු වේ. ඒ අනුව අදාළ විකල්පය තෝරා ගැනීමේ දී එම අරමුදල්වලට ආවස්ථික පිරිවැයකට මුහුණ දීමට සිදුවේ. මේ අනුව වඩාත් සුදුසු වන්නේ ආවස්ථික පිරිවැය අඩු වඩා වාසිදායක විකල්පය තෝරා ගැනීමයි. දැන් මේ විකල්ප දෙකේ වාසි සහ අවාසි ගැන සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අනිකුත් අරමුදල් භාරකරුවන් සලකා බලමින් සිටිනවා විය හැකිය.

අර්ථසාධක අරමුදලට රු.ට්‍රිලියන 12ක් අහිමියි?

මේ වන විට කරන ලද තක්සේරු කිරීම් අනුව පැහැදිලිව ඇත්තේ දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීමේ විකල්පයට යොමු වීම වඩා වාසිදායක බවයි. දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි නොවීමේ විකල්පයට ගියොත් එම අරමුදල් දැනට රජයට ගෙවමින් සිටින සියයට 14 ක බදු ප්‍රතිශතය සියයට 30 දක්වා ඉහළ යනු ඇත. මේ කොයි විකල්පයට ගියත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල්වලට බලපෑමක් සිදු වීම වැළක්විය නොහැකිය. එසේම දේශීය ණය ප්‍රශස්තකරණය කිසිවකුට කිසිම බලපෑමක් සිදු නොවන පරිදි කිරීමේ හැකියාවක් නොමැති බව ද අප පිළිගත යුතු වේ. එහෙත් වඩාත් වැදගත් වන්නේ අවාසිදායක බලපෑම් අවම වඩාත්ම ප්‍රශස්තම දේශීය ණය ප්‍රශස්තකරණ විසඳුම ක්‍රියාත්මක කිරීමයි. දැනට මහ බැංකුව විසින් ඉදිරිපත් කර, රජය විසින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ඇත්තේ මෙම වඩා හොඳම සහ අහිතකර බලපෑම් අවම දේශීය ණය ප්‍රශස්තකරණ විසඳුම බව මහ බැංකු අධිපතිවරයා කියයි. මේ විසඳුම විවේචනය කරන කිසිවකු දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් මීට වඩා ප්‍රශස්ත විසඳුමක් ඉදිරිපත් කර ද නැත.

මේ අතර පසුගිය දා නිශාන් ද මෙල් නමැති අයකු සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වුවහොත් වර්ෂ 2038 වන විට එම අරමුදලට රු.ට්‍රිලියන 12ක් අහිමිවන බවට වන ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබිණි. ඒ සම්බන්ධ තවත් තොරතුරු රැසක් ද ඔහු සඳහන් කර ඒ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. රු.ට්‍රිලියන 12ක් යනු විශාල මුදලකි. මේ කියන ප්‍රකාශය මත පදනම්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉකුත් ජුලි 5 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබිණි. ඔහු එහිදී මෙසේ කියා තිබිණි.

‘අපේ රටේ අද බංකොළොත් තත්ත්වයක් තිබෙන්නේ. දැන් අපේ රටේ මූල්‍ය තත්ත්වය ව්‍යසනයක් බවට පත්ව තිබියදී විපක්ෂ නායකවරයාට කාරක සභාවකට ගිහින් අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසන්න අවසර තිබෙනවා. වෙරිටේ රිසර්ච් ආයතනය රිසර්ච් එකක් කරලා තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා රටට සහ වැඩ කරන ජනතාවට අත්වන පාඩුව රුපියල් ට්‍රිලියන 12ක්. ඉතින් ඒ ගැන මම මුදල් කාරක සභාවේදී ඊපීඑෆ් එකේ සහ ඊටීඑෆ් එකේ බලධාරීන්ගෙන් කරුණු විමසන විට ආණ්ඩුව මේ ගෙනාපු යෝජනාවෙන් වැඩ කරන ජනතාවගේ මුදල් අඩු වෙනවාද කියලා ඊටීඑෆ් එකේ සහ ඊපීඑෆ් එකේ නිලධාරීන් දන්නෙත් නෑ.’

නිශාන් ද මෙල් කියන ලද දෙය මත පදනම්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීම නිසා මෙය බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙසේ ඇත්ත වශයෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණය නිසා වර්ෂ 2038 වන විට එනම් තවත් වර්ෂ 15 කින් ඊපීඑෆ් එකට රු. ට්‍රිලියන 12 ක් අහිමිවීමට යනවා නම් එය බරපතළ තත්ත්වයකි. මේ බරපතළ කාරණය සම්බන්ධයෙන් වැඩකරන ජනයා කලබලයට පත් වීම වැළක්විය නොහැකිය. ඒ නිසා මේ ගැන සත්‍ය තත්ත්වය පැහැදිලි කරගත යුතු වේ. මේ අරමුදලේ භාරකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එසේ නම් මේ පිළිබඳ සියලු සංඛ්‍යාලේඛන ඇතුළු විස්තර ඇත්තේ මහ බැංකුව සතුවය. එසේ නම් මේ කියන පරිදි දේශීය ණය ප්‍රශස්තකරණය නිසා ඊපීඑෆ් එකට රු. ට්‍රිලියන 12 ක් අහිමි වනවා ද යන්න විමසිය යුතු හොඳම ආයතනය මහ බැංකුවයි. මේ අනුව ඉකුත් ජුලි 06 වැනිදා මහ බැංකු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මේ ගැන මේ ලියුම්කරු විසින් මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මූලික වශයෙන්ම සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහභාගි වීම නිසා ඊපීඑෆ් එකට ගෙවන සාමාන්‍ය පොළිය සියයට 9.4 සිට සියයට 9.1 දක්වා අඩු විය හැකි බවත් එහෙත් වර්ෂ 2038 වන විට රු. ට්‍රිලියන 12ක් එම අරමුදලට අහිමිවනවා කීම යථාර්ථවාදී නොවෙන සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක් බවයි. කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ඊ.පී.එෆ්. එකට අනිවාර්යයෙන්ම බලපෑමක් තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේ දී පිළිගත්තේය. කලින් ද සඳහන් කළ පරිදි කිසිදු බලපෑමක් නොවන පරිදි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීමේ හැකියාවක් නැත. මේ සම්බන්ධයෙන් ඉකුත් 06 දා මහ බැංකු මූලස්ථානයේදී මේ ලියුම්කරු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

‘මේකෙන් ඊ. පී.එෆ්. එකට අනිවාර්යෙන්ම බලපෑමක් තියෙනවා. ආවස්ථික පිරිවැයක් තිබෙනවා. අපේ ගණන් හැදීමේ හැටියට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළා නම් සාමාන්‍ය පොලිය සියයට 9.4 ක් වීමට තිබුණා. එය මේ නිසා සියයට 9.1 ක් දක්වා අඩුවීම සිදු වෙනවා. ඒකත් නැවත අන්තිම කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. එහෙත් වර්ෂ 2038 වනවිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා අර්ථසාධක අරමුදලට රු.ට්‍රිලියන 12 ක් අහිමි වන බවට කර ඇති පුරෝකථනය සම්පූර්ණ වැරදි හා යථාර්ථවාදී නොවන එකක්.

ඇයි මම එහෙම කියන්නේ, ඔය කියන තර්කයේ අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම්කර කළඹේ දැනට තිබෙන සාමාන්‍ය ඵලදාව සියයට 13.5 ක් ලෙස අරන් තිබෙනවා. ඒක උපකල්පනයක් මත කරපු දෙයක්. අපි දන්න හැටියට ඊ.පී.එෆ්. එක දිගු හා මධ්‍යකාලීන අරමුදලක්. දැනට එහි තියෙන සාමාන්‍ය ඵලදාව සියයට 11.5 ක්. රජයට බදු ගෙවල ඉතුරු මුදලින් තමයි සාමාජිකයන්ට ප්‍රතිලාභ ලබා දෙන්නේ සියයට 9 ක් පමණ. ඒ නිසා සියයට 13.5 කියන එක වැරදි සංසන්දනයක්. වර්ෂ 2038 වනවිට ට්‍රිලියන 12 ක් අඩුවන එක හදල තියෙන්නේ වසර 2038 වෙනකම්ම අර සියයට 13.5 ක ඵලදාව එම බැඳුම්කරවලට ගන්න පුළුවන් කියන උපකල්පනය මතයි. දැනට තියන ඒවාට අමතරව අලුතින් ආයෝජනය කරන බැඳුම්කරවලටත් සියයට 13.5 ක ඵලදාවක් තිබුණත් ඉදිරි වර්ෂ 15 ක් තුළ ඒ කියන ඵලදාව ලබා දෙන්න නම් උද්ධමනය කොහෙද තියෙන්න ඕන ? ඒ සඳහා සියයට 15 -18 ක පමණ උද්ධමනයක් තිබිය යුතුයි. කවුරුහරි මේ සඳහා සියයට 13.5 ක ඵලදාවක් වර්ෂ 2038 වෙනකම්ම දෙයි කියලා බලාපොරොත්තු වනවා නම් ඒ කියන්නේ කොහොමත් රටේ ණය තිරසාර වෙන්නේ නෑ. එම උපකල්පනය යටතේ තව වසර කිහිපයකින් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න වෙනවා. ඒ නිසා මේ පුරෝකථනය යථාර්ථවාදී නොවන එකක්. මේ ගැන අවබෝධයක් නැතිව කරපු පුරෝකථනයක්. එහෙම නැත්නම් මේ ගැන අවබෝධයක් ඇතිව ජනතාව මුළා කිරීමට කරපු පුරෝකථනයක්. ඒක ඔබතුමාල තීරණය කරන්න. ඒ කියන උපකල්පනය නිවැරදියි කියල කල්පනා කරනවා නම් ඒ මත යම් යම් අය ප්‍රකාශ කරනවා නම් ඒ කියන කෙනා ප්‍රකාශ කරන්න පුළුවන් තාක්ෂණික දේවල් නොදැන. තමන්ට ඇහෙන දේ නේ කියන්නේ. නමුත් යම්කිසි විශ්වාසයක් තියෙන ආයතනයක් එහෙම පුරෝකථනයක් කරනවා නම් වර්ෂ 2038 වෙනකම් උද්ධමනය මොන මට්ටමේ ද තියෙන්න ඕන සහ රජය 2038 වෙනකම් මොන පොළී අනුපාතයට ද ණය ගන්න ඕන කියල කියන එක මත එය මොනතරම් යථාර්ථවාදී ද නැද්ද කියන එක තීරණය වෙනවා. ඕන කෙනකුට වැරදි උපකල්පනය කිරීම් කරලා ජනතාව නොමග යැවීම පහසුයි. අනිත් අතට ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළා නම් මොකක්ද මේකට තියෙන විසඳුම? රජයට පුළුවන් ද දිගටම ණය ගෙවාගෙන යන්න ? මේ නිසා මේ විසඳුම නැතුව මම හිතන්නේ නෑ මීට වඩා හොඳ විසඳුමක් හෝ රටේ හැමෝටම සාධාරණ විසඳුමක් ඇති කියලා. රටේ වත්කම් සහ ජනතාවගේ තැන්පතු ආරක්ෂා කරගෙන හොඳම විසඳුමක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළොත් හැමෝටම, බැංකුවලට. තැන්පත්කරුවන්ට, ඊ.පී.එෆ්. සාමාජිකයන්ට බරපතළ හානියක් සිදුවනවා. මේ නිසා එය පදනමක් නැති ජනතාව මුළා කරන විශ්ලේෂණයක්. ඒක හරිද වැරදිද කියන එක ජනතාවගේ දැනුම, අවබෝධය මත තීරණය කරන්න පුළුවන්. අපි කියන්නේ අපි දකින දේ. අපි ඊපීඑෆ් එකට කියල තියෙනවා මේකට හොඳට බලල මුදල් මණ්ඩලයට නිර්දේශ කරන්න කියල. ඒ අනුව තීරණය අරන් මේකට සහභාගි වෙනවා අර ආකාර දෙකින් එකකට.’

මහ බැංකුව මේ කියන කතාව අනිත් විශ්‍රාම අරමුදල් සම්බන්ධයෙන් ද එක ලෙසම අදාළය. මේ අනුව ආවස්ථික පිරිවැය අවම තීරණය මහ බැංකුව විසින් ඊ.පී.එෆ්. එක සම්බන්ධයෙන් ගනු ඇත. අයිඑම්එෆ් එක සමග ඇති ගිවිසුම ප්‍රකාරව අපට එම එකඟ වී ඇති අවශ්‍යතා ඉටු කරමින් ඉදිරියට ගමන් කිරීමට සිදුව ඇත. අයිඑම්එෆ් සහාය නොගත්තේ නම් අපට විදේශ මූල්‍ය සහයක් ලබා දීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. එසේ නම් අප මුහුණ දී සිටි බරපතළ විදේශ විනිමය අර්බුදය හමුවේ අපට අත්‍යවශ්‍ය ආනයන පවා සිදුකරගත නොහැකිව ආර්ථිකයට සහ පොදුවේ ජනයාට බලවත් පීඩාවකට මුහුණ දීමට සිදුවීම වැළක්විය නොහැකිය.

ගිය වසරේ (2022) තෙල් නැතිව, ගෑස් නැතිව පෝලිම්වල දුක් විඳිමින් ගෙවන ලද අමාරු කාලය අපට මතකය. ඒ කාලයේ රුපියල පිරිහී භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය සියයට 70 ක් පමණ දක්වා විශාල වශයෙන් ඉහළ ගිය බව ද අපට මතකය. එවැනි උද්ධමනයක දී අර්ථසාධක අරමුදලේ මුදල්වල මූර්ත අගයට සිදුවන්නේ කුමක් ද? ඒ නිසා අර්ථසාධක අරමුදලට එහි සාමාජිකයන්ට වඩා වැඩි හානියක් වනු ඇත්තේ මේ කියන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර සිටීම තුළිනි. ඒ තුළ අපට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට ද හැකිවන්නේ නැත. මේ නිසා අප නම් සිතන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් කිසියම් අවස්ථික පිරිවැයක් සහිතව සුරක්ෂිත වන බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැංකු සංගමය ද නිල ප්‍රකාශයක් කර තිබුණි. එම සංගමයේ සාමාජික, ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා මහතා සඳහන් කර ඇත්තේ දේශීය ණය ප්‍රශස්තකරණය සිදු නොකළේ නම් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල්වල තිබූ මුදල් සේවකයන්ට අහිමිවීමේ අවදානමක් තිබූ බවයි. රසල් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ රසල් ෆොන්සේකා මහතා මෙසේ ද සඳහන් කළේය.

“මෙරට බැංකු තැන්පත්කරුවන්ට බලපෑමක් සිදු නොවන අයුරින් දේශීය ණය ප්‍රශස්තකරණයට රජය, මුදල් අමාත්‍යාංශය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සහයෝගය ලබා දීම සතුටට කරුණක්. දේශීය ණය ප්‍රශස්තකරණයේදී තැන්පත්කරුවන්ට කිසිදු අලාභයක් හෝ බලපෑමක් ඇති නොවන බව අප වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම බැංකු පොලියටත් මෙයින් බලපෑමක් සිදු වෙන්නේ නෑ. ස්ථාවර තැන්පතු සඳහා අදාළ පොලිය වලංගු කාලය දක්වා ගෙවීමට බැංකු බැඳී සිටිනවා. එම ස්ථාවර තැන්පතු බලපෑමට ලක් වුණා නම්, අද වන විට ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තබා නැහැ.

මෙතැනදී භාණ්ඩාගාර බැඳුම්කර කපා හැරීමක් සිදු වෙන්නේ නෑ. ඒ සඳහා වන අනෙකුත් විකල්ප විසඳුම් දෙකක් භාවිතා කරනවා. එයින් එකක් වන්නේ පොලී අනුපාතය අඩු කිරීමයි. අනෙක ණය ගෙවීම කල්දැමීමයි. ඒ නිසා බැඳුම්කර කප්පාදුවට නොගිහින් ඊළඟ විකල්ප දෙක භාවිතා කිරීම තමයි මෙහිදී සිදු කරන්නේ. මේ නිසා ඊපීඑෆ් සහ ඊටීඑෆ් ඇතුළු අරමුදල්වල තිබුණු සේවකයන්ගේ මුදල් සුරක්ෂිත වෙනවා.

ඒ වගේම 2025 දක්වා මේ අරමුදල් සඳහා සියයට 12ක පොලියක් ගෙවීමට රජය සහතික වී තිබෙනවා.

ඉන් පසුව ගිණුම් කල්පිරෙන දිනය දක්වා සියයට 9ක සහතික පොලියක් ගෙවනවා. ඇතැම් අයට තර්කයක් ගොඩනඟන්න පුළුවන් බලාපොරොත්තු වූ පොලී ආදායම ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මේ වන විට පොලී අනුපාත විශාල ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සේවක අරමුදල් සඳහා රජය සහතික වී තිබෙන පොලී මට්ටමටම වෙළෙඳ පොලියත් පැමිණේවි කියලා. උද්ධමනය අඩුවීමත් සමග සේවක අරමුදල්වලට රජය ලබාදෙන පොලී ආදායම ඉහළ ප්‍රමාණයක තිබෙනවා. කෙසේ වෙතත් මේ පොලී ආදායම් ප්‍රශ්නය බලපාන්නේ දායක අරමුදල් සඳහා පමණයි. අනෙකුත් අරමුදල් සඳහා අඩු වෙන මුදල අදාළ ආයතන මගින් පියවිය යුතුයි. එම නිසා සේවකයාට කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ.”

තත්ත්වය මෙසේ වුවත් මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටින නිසා මේ වන විට වඩාත්ම සාකච්ඡාවට ලක්වී ඇති කාරණය වන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට වන බලපෑමයි. මෙකී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිසා සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට වන මුදල්මය අගයට (ශේෂයට) හානියක් නොවුණත් එහි මුර්ත අගයට සහ පොලී ප්‍රතිලාභයට සැලකිය යුතු බලපෑමක් සිදුවන බවට ද ඇතැමුන් අදහස් දක්වා ඇත. උද්ධමනය හමුවේ කොහොමත් මුදල්වල මුර්ත අගය එනම් මුදල්වලින් මිලදීගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වේ. එහි බලපෑම සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට පමණක් නොව බැංකු තැන්පතුවලට ද සිදු වේ. උද්ධමනයට වඩා අඩු පොලියක් ගෙවන විට ඇත්තේ ඍණ මුර්ත පොලියකි. උද්ධමනය විශාල ලෙස අඩු වීම හමුවේ එම අවාසිය මේ වන විට අඩුව ඇත.

බඩු මිල විශාල ලෙස වැඩි වී පසුගිය කාලයේ උද්ධමනය සියයට 70 ක් පමණ දක්වා ඉහළ ගියේය. එහෙත් මේ අර්ථසාධක අරමුදල්වලට ලැබුණු පොලී ප්‍රතිශතය ඊට වඩා බොහෝ අඩු බව රහසක් නොවේ. මේ වන විට උද්ධමනය වේගයෙන් අඩු වෙමින් තිබේ. මේ අනුව පොලී අනුපාත ද පහත වැටෙමින් තිබේ. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල් ශේෂය සඳහා සියයට 9 ක පොලී ප්‍රතිලාභයක් ලබා දීමට රජය සහතික වී ඇත. මේ ප්‍රතිශතයට වඩා උද්ධමනය ඉදිරි කාලයේ දී අඩු වීමට ද නියමිතව ඇත. ඒ අනුව අපට පෙනෙන්නේ අර්ථසාධක අරමුදල් හිමියන්ට ඇතැම් විට උද්ධමනයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙනු ඇති බවයි. කෙසේ වෙතත් කලින් වැඩි පොලියට ආයෝජනය කර තිබූ බැඳුම්කරවල මුදල්, අලුතින් අඩු පොලියට දිගුකාලීන බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී නම් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පාඩුවක් සිදු වේ. මේ නිසා ඇත්ත වශයෙන්ම සේවක අර්ථසාධක අරමුදල් හිමියන්ට වන පාඩුව ගණනය කළ යුතු වන්නේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නොකළා නම් ලැබෙන පොලී ප්‍රතිලාභය මෙන්ම රටට අත්වන ඉරණම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කළ විට ලැබෙන ප්‍රතිලාභය සහ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ලැබෙන සහාය අතර වෙනස ගණනය කිරීමෙනි. ඒ සඳහා හරියටම සංඛ්‍යාලේඛන ඇත්තේ මහ බැංකුව සතුවය. මේ ගැන පැහැදිලි කිරීමක් දැන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කර ඇති නිසා ඒ ගැන මහජනයාට විශ්වාසය තැබිය හැකිය. නොයෙකුත් වැරදි අර්ථකථන සිදුකර ඒවා මාධ්‍ය හරහා පැතිර යෑමෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් අනවශ්‍ය කලබලයට පත් වීමට ඉඩ තිබේ. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ නිවැරදි තත්ත්වය මහජනයාට පැහැදිලි කර දීමයි.

මේ වන විට උද්ධමනය අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් සැලකිය යුතු ලෙස පහත වැටෙමින් පොළී අනුපාත ද අඩු වෙමින් තිබේ. මේ හමුවේ ඉදිරි කාලයේ දී වෙළෙඳපොළ පොලී අනුපාත ද තවදුරටත් අඩුවෙන නිසා රජය සහතික වී ඇති සියයට 9 ක සාමාන්‍ය පොළිය, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අනාගත කාලය සම්බන්ධයෙන් එතරම් අවාසිදායක තත්ත්වයක් උදාකරනු ඇතැයි සිතිය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment