මන්ත්‍රීවරුන්ගේ පදනම් විරහිත චෝදනා නිසා රාජ්‍ය නිලධාරීන් කලකිරිලා – කථානායක කියයි

256

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ විවිධ උසස් නිලධාරින් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරි කටයුතු දෝෂ දර්ශනයට ලක් කරමින් සභාව තුළ විවිධ අවස්ථාවලදී විවේචනය කිරීමේ ප්‍රවණතාවක් මෑතක සිට වර්ධනය වෙමින් පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (05) විශේෂ නිවේදනයක් කරමින් සඳහන් කළේය.

මෙලෙස බොහෝ අවස්ථාවලදී පදනම් විරහිතව සිදු කරනු ලබන එවැනි ප්‍රකාශ මඟින් එකී රාජ්‍ය නිලධාරින්ගේ කීර්ති නාමයට හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන අතරම එවැනි ප්‍රකාශ සම්බන්ධව පිළිතුරු ලබාදීමේ අවකාශයක් ද එම නිලධාරීන්ට නොමැති බැවින් ඔවුන්ට බලවත් අසාධාරණයක් සහ අධෛර්යමත් වීමක් සිදුවන බව තමා නිරීක්ෂණය කොට ඇති බවද කථානායකවරයා පැවසීය.

තවද එවැනි ප්‍රකාශ සිදු කිරීම් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් තමා වෙත දැඩි කනස්සල්ල පළ කරමින් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීම ද කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව විවේචන තිබේ නම්, එකී නිලධාරීන් පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා ඒ සම්බන්ධ කරුණු විමසීමට හා අවශ්‍ය පියවර ගැනීමට අවකාශය පවතින බැවින් එලෙස මෙම සභාව තුළදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඔවුන්ව දෝෂාරෝපණයට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාටම අවධාරණය කරන බවද කථානායක වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment