වැල්ලේ සාරංගගේ මස්සිනා ඝාතනය ඩුබායි නිපුනගේ ඕඩරයක්

413

මහබාගේ භීතියෙන් ඇළලෙයි

මහබාගේ ඇලපිටිවල හන්දියේදී ඊයේ (21 දා) පෙරවරුවේ වැල්ලේ සාරංග නමැති පාතාල නායකයාගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කිරීම ඩුබායි නිපුන නමැති පාතාල නායකයාගේ නියෝග මත සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මීට මාස කීපයකට උඩදී ඩුබායි නිපුනගේ ගෝලයකු වන මාළු කුමාර නමැත්තා වැල්ලේ සාරංගගේ ගෝලයන් විසින් ඝාතනය කර තිබූ අතර ඊට එකට එක කිරීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ඊයේ පෙරවරු 7.30 ට පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූයේ ඌරු මස් අලෙවිසලක් පවත්වාගෙන යන 39 හැවිරිදි හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නමැති අයෙකි.

ඊයේ උදෑසන මහබාගේ ඇලපිටිවල මංසන්ධියට යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු සුජිත් නමැත්තාට වෙඩි තබා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලා ගොස් තිබිණි.

වැල්ලේ සාරංග සහ ඩුබායි නිපුන යන දෙපාර්ශ්වය අතර කාලයක පටන් ගැටුම් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පුද්ගලයන් රැසක් ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය, පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සහ මහබාගේ පොලිසිය ඝාතකයන් සොයා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment