අපි යාපනයෙත් රංග කලා පාසලක් පටන් ගත්තා

204

ටවර් හෝල් පැරණි ජනප්‍රිය නූර්තී නාඩගම් අප නැවත පෙන්වනවා

නාට්‍ය හා රංගකලා කේෂ්ත්‍රයේ ආනුෂාංගික අංශ රැසක් ආවරණය වන පරිදි NVQ පාඨමාලා කිහිපයක්ආ රම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්

1978 අංක 01 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත ශ්‍රී ලංකාවේ නෘත්‍ය හා වේදිකා නාට්‍ය මෙන්ම, ප්‍රාසාංගික කලාව පෝෂණය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආතනයක් වන ටවර් හෝල් රඟහල පදනම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වේ. වර්තමානයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. පදනමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා විවිධ වූ වැඩසටහන් රාශියක් ආරම්භ කොට ඇති ටවර් හෝල් රඟහල පදනමේ වත්මන් තත්ත්වය පිළිබඳව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක මහතා සමඟින් ‘දිවයින’ සිදුකරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි.

● ටවර් හෝල් රඟහල පදනමේ වත්මන් කටයුතු පිළිබඳව හා එහි පසුබිම පිළිබඳව පැහැදිළි කිරීමක් කළොත්?

ජාතික නෘත්‍ය කටයුතු ප්‍රවර්ධනය, ටවර් හා ප්‍රාසාංගික කලාකරුවන්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම, නව නිර්මාණකරුවන් දිරිමත් කිරීම, වෘත්තීය මට්ටමේ ශිල්පීන් ජාතියට දායාද කිරීම, ගුණාත්මක නාට්‍ය කලාවක් ගොඩනැඟීමත් යන අරමුණු ළඟා කරගැනීම සඳහා වර්තමානයේ පවතින ආර්ථික ගැටලුවලට මුහුණදෙමින් සැලසුම්සහගතව, ටවර් හෝල් රඟහල පදනම ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ටවර් හා ප්‍රාසාංගික ශිල්පීන් සඳහා අඛණ්ඩව විශ්‍රාම දීමනාව ලබාදීමත්, නාට්‍ය ඇතුළු විවිධ වූ ප්‍රාසාංගික කලාවන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීමත්, දේශීය රංගන ක්ෂේත්‍රයට වෘත්තිකයන් බිහිකිරීමත්, නාට්‍ය, සංගීතය, නර්තනය යනාදී ක්ෂේත්‍රයන්ට අදාළව වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ආරම්භ කොට පවත්වාගෙන යෑමත් මේ වන විට ආරම්භ කොට තියෙනවා. ටවර් හෝල් රඟහල පදනම මෙතෙක් ආරම්භ කොට පවත්වාගෙන ආ කටයුතු ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යෑමත්, කාලීන අවශ්‍යතාවයට ගැළපෙන නව වැඩසටහන් විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමත් අප විසින් සිදුකරනු ලැබුවා.

අපි යාපනයෙත් රංග කලා පාසලක් පටන් ගත්තා
ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්. එස්. දිසානායක

ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ මනා අධ්‍යාපනයක්, පුහුණුවක් ලැබූ රංගනවේදීන්ගේ විශාල හිඟයක් පවතින බව ඔබත් දන්නා කරුණක්. එය ලොව අනෙක් රටවලට සාපේක්ෂව ගත් කළ විශාල ගැටලුවක්. එම තත්ත්වය මඟහරවා ගැනීමට තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නියාමනයන්ට අනුරූපව, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගනය සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රායෝගික වෘත්තීමය කුසලතාවය ලබාදීමේ අරමුණින්, රංගනය පිළිබඳ උනන්දුවක් දක්වන හා මේ වන විටත් රංගන ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහභාගි විය හැකි පරිදි රංගනය පිළිබඳ NVQ පාඨමාලාවක් 2023 අප්‍රේල් 08 දින අපි ආරම්භ කළා. විශේෂයෙන්ම කියන්න ඕන මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නෑ. ක්ෂේත්‍රය පිළිබඳව ඇති උනන්දුව හා කැපවීම පමණයි අවශ්‍ය වෙන්නේ. වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. අංග සම්පූර්ණ පාඨමාලාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් පවත්වාගෙන යෑමටත්, විභාග ප්‍රායෝගික පරීක්ෂණ මගින් සිදුකිරීමටත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ සම්පත්දායකත්වයෙන් මෙම පාඨමාලා පවත්වාගනෙ යෑමටත් සැලැසුම් කරලා තියෙනවා. මෙහිදී අප අපේක්ෂා කරන්නේ වේදිකා, ටෙලි හා සිනමාව යනාදී සියලු අංශ සඳහා වෘත්තීය රංගන ශිල්පීන් බිහිකිරීමයි.

ඒ වගේම ඉදිරියේ දී නාට්‍ය හා රංගකලා කේෂ්ත්‍රයේ ආනුෂාංගික අංශ රැසක් ආවරණය වන පරිදි NVQ පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

● මෙම පාඨමාලා දෙමළ මාධ්‍යයෙන් ආරම්භ වෙන්නේ නැද්ද?

දෙමළ මාධ්‍යයෙන් ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. යාපනය විශ්වවිද්‍යාලයෙන් අපට ආරාධනාවක් ලැබිලා තියෙනවා ඒ සඳහා. වවුනියාව විශ්වවිද්‍යාලයේ ඉඩපහසුකම් ඒ වෙනුවෙන් ලබාදීමටත් එකඟතාව පළකරලා තියෙනවා. ඒ අනුව අපි සැලසුම් කරලා තියෙනවා දෙමළ ජනතාවටත් වෘත්තීය ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලබාදෙන්න.

● කාලීන අවශ්‍යතාවයට ගැළපෙන නව වැඩසටහන් විශාල ප්‍රමාණයක් ආරම්භ කරල තියෙනවා කියලා ඔබතුමා සඳහන් කළා. මොනවද ඒ වැඩසටහන්?

ටවර් හෝල් රඟහල පදනමේ අරමුණු සාර්ථක කරගැනීම සඳහා නාට්‍ය හා රංගකලා පාසලක් මීට වසර 20 කට පෙර ආරම්භ කර ඇති බව ඔබද දන්නා කරුණක්. එය ක්‍රියාත්මක වූයේ සිංහල මාධ්‍යයෙන් පමණයි. නමුත් අප විසින් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දෙමළ නාට්‍ය හා රංගකලා පාසලක් යාපනයේ දී 2022 මැයි මස 04 වැනිදා ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සිංහල මාධ්‍ය සිසුන්ට පමණක් හිමිව තිබූ අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උතුරේ තරුණ තරුණියන්ට ද ලබදීමට අපට හැකි වුණා.

ඒ වගේම නර්තනය හා සංගීතය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ආරම්භ කිරීමටත්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිසුන් බඳවා ගැනීමටත් කටයුතු කරලා තියෙනවා. අ:පො:ස (සා:පෙළ) හා උසස් පෙළ සමත්, නර්තනය හා සංගීතය යන විෂයයන්ට සම්මාන සාමාර්ථයක් සහිත සිසු සිසුවියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ඒ වගේම උසස් ඩිප්ලෝමාව සමත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරීමටත් මෙමගින් අවකාශ සැළසෙනවා. මහනුවර කේන්ද්‍ර කරගනිමින් සිංහල මාධ්‍යයෙන් පාඨමාලාව ආරම්භ කිරීමටත්, යාපනය කේන්ද්‍ර කරගනිමින් දෙමළ මාධ්‍ය නර්තන පාඨමාලාව ආරම්භ කිරීමටත්, නුවරඑළියේ වතුකරය කේන්ද්‍ර කරගනිමින් සංගීතය පිළිබඳ දෙමළ පාඨමාලාව ආරම්භ කිරීමටත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

● ළඟදී ටවර් හෝල් නාට්‍ය පාසල්වල සිසුන්ගේ දායකත්වයෙන් අපූරු නාට්‍ය නිර්මාණයක් බිහිවුණා නේද?

ඔව්. ජාත්‍යන්තර රංගකලා ආයතනයේ ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙසින් ටවර් හෝල් රඟහල පදනම වසර ගණනාවක් තිස්සේ “ලෝක නාට්‍ය දිනය” උත්සවාකාරයෙන් සමරනවා. ලෝක නාට්‍ය දිනය උදෙසා යාපනයේ පිහිටුවා ඇති ටවර් දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා පාසලේ හා කොළඹ පිහිටුවා ඇති ටවර් සිංහල මාධ්‍ය නාට්‍ය හා රංගකලා පාසලේ සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතීන් දෙකක එකතුවකින්, එකම වේදිකාවක, එකම මොහොතක, නාට්‍ය හා රංගකලාවේ නව ප්‍රවනතා උපයෝගි කර ගනිමින්, රුමේෂ් ටී. චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයෙන් “Next Up” වේදිකා නාට්‍යය ටවර් හෝල් රඟහල පදනමේ නිෂ්පාදනයෙන් 2023 මාර්තු 27 මරදාන එල්ෆින්ස්ටන් රඟහඋලේ දී වේදිකාගත වූණා. එදින නාට්‍ය නැරඹීමට පැමිණි පාසල් සිසුන්ගෙන් මුළු ශාලාවම පිරී ඉතිරී ගියා. මෙම නාට්‍ය ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

● නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය උදෙසා මේ අවුරුද්දේ මොනවද කළේ?

ටවර් හෝල් රඟහල පදනම මගින් වියපත් ශිල්පීන් 118 දෙනකු සඳහා මාසිකව රු.7,500/- බැගින් විශ්‍රාම දීමනාවක් ලබාදෙනු ලබනවා. ඒ වගේම ශිල්පීන් 50 දෙනකු සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රු. 10,000/- බැගින් අලුත් අවුරුදු තිළිණ ප්‍රදානයක් පසුගියදා සිදුකරනු ලැබුවා. ඒ වගේම ශිල්පියකුගේ අවමංග්‍යයකදී මරණාධාර ලබාදීම ද සිදුකෙරෙනවා. මොවුන් වෙනුවෙන් වෛද්‍ය සායන පෙර වර්ෂවලදී මෙන් මෙම වර්ෂයේදීත් පවත්වනු ලබනවා. ඒ වගේම වැඩි කලාශිල්පීන් පිරිසක් වෙනුවෙන් විශ්‍රාම දීමනා ලබාදීමේ අරමුණින් අප සතුව ඇති අරමුදල් තරකර ගැනීම උදෙසා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කෙරෙමින් පවතිනවා.

ඒ වගේම ජනවාරි 09 සිට 24 දක්වා මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රඟහල් කේන්ද්‍ර කරගනිමින් පැවති අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය “ටවර් නාට්‍ය උළෙල” අති සාර්ථක ලෙස අවසන් කෙරුණා. දිගු නාට්‍ය 25 ක්, කෙටි නාට්‍ය 12 ක් හා ළමා නාට්‍ය 02 කින් සමන්විත වූ නාට්‍ය උළෙල නැරඹීමට පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාව 15,000 ඉක්මවූවා. එම නාට්‍ය උළෙල හරහා නාට්‍යකරුවන් විශාල පිරිසකටත්, 300 කට අධික නාට්‍ය ශිල්පීන් ප්‍රමාණයකටත් ප්‍රතිලාභ හිමිවුණා. ටවර් හෝල් රඟහල පදනම විසින් නාට්‍යකරුවන් සඳහා නොමිලයේ රංගශාලා පහසුකම, ශබ්ද උපකරණ ලබාදීම ආදිය සිදුකරනු ලැබුවා. සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර ආදායම නාට්‍යකරුවාට හිමිවුණා. මෙම නාට්‍ය උළෙල සඳහා ඔබ පුවත්පත දැන්වීම් පළකරමින් මාධ්‍ය අනුග්‍රහය ලබාදුන්නා. මෙම නාට්‍ය උළෙල සඳහා ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ආදි සිසුන් විසින් නිෂ්පාදිත නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කෙරුණා. ඒ අනුව මෙවර නාට්‍ය උළෙල තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය උළෙලක් බවට වුණා.

ඒ වගේම ශ්‍රී ලාංකේය ජනතාවගේ රසාස්වාදය වර්ධනය කිරීමත්, නිර්මාණකරුවන් දිරිමත් කරමින්, යළි යළි නිර්මාණකරණයේ යෙදවීමත් උදෙසා නූර්ති කලාවේ සුවිශේෂීම යුගය ලෙස හැඳින්වෙන ටවර් හෝල් යුගයේ වඩා ජනප්‍රියත්වයට පත්වූ නූර්ති, නාඩගම්, ටීටර් ජවනිකා හා ග්‍රැමර්ෆෝන් ගී ඇතුළත් නැවුම් ප්‍රාසාංගික අත්දැකීම “ටවර් ප්‍රභාස්වර” ප්‍රසංගය පසුගියදා රඹකැන්ඔය මහවැලි කලාපයේ මහඔය කැප්පෙටිපොළ මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අතිසාර්ථක අන්දමින් පැවැත්වීමට අපිට හැකියාව ලැබුණා. මෙවැනි ප්‍රසංග 3 ක් ඉදිරියේදීත් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම වේදිකා නාට්‍යශිල්පීන් 1000 කගේ තොරතුරු ඇතුළත් නාමාවලියක් පසුගියදා එළිදැක්වීමට අපට හැකියාව ලැබුණා. තවද නාට්‍ය හා රංගකලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකරනු ලැබූ විශිෂ්ඨ මෙහෙවර ඇගයීම උදෙසා නෘත්‍ය හා ග්‍රැමර්ෆෝන් යුගයේ සංගීත නිර්මාණය පිළිබඳව ලයනල් ගුණතිලකයන්ගේ දායකත්වය මැයෙන් කෘතියක් නිර්මාණය කර එළිදැක්වීමද සිදුකරනු ලැබුවා.

● වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කෙහොමද මේ වැඩ සාර්ථකව කරන්නේ?

ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, ගරු අග්‍රාමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාත්, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාත්, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මියත් හා අතිරේක ලේකම් (පාලන) එස්.ජී. පල්ලියගුරුගේ මහත්මියත් උපරිම සහයෝගය හා සහභාගිත්වය ලබාදෙනවා. ආර්ථික ප්‍රශ්න රැසක් උද්ගතව පැවතියද, අරපිරිමැස්මෙන් යුතුව, නව ආදායම් ඉපැයීමේ මාර්ග සකසා ගනිමින්, විදුලි බිල්පත් පවා ගෙවා ගනිමින්, ගැටලු රහිතව ගමන් කිරීමේ ශක්තිය ටවර් හෝල් රඟහල පදනමට සතුව පවතිනවා.

මල්මී රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment