විදුලි බිලෙන් සැර වදින්නේ මෙහෙමයි

768

ඒකක 31-60 අත- සියයට 211 කින්
ඒකක 61-90 අතර – සියයට 125 කින්
ඒකක 91-120 අතර – සියයට 89 කින්
ඒකක 121-180 අතර – සියයට 79 කින්
කර්මාන්ත අංශවලට 75% ක වැඩිවීමක්

අධික විදුලිය පරිභෝජනයක් කෙරෙන ආගමික ස්ථානවලටත් සාමාන්‍ය පරිදි අයකිරීම්

මහජන උපයෝගිතා කොමිසම මගින් අද (10දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

විදුලිබල මණ්ඩලය විදුලිය උත්පාදනය සහ බෙදාහැරීම වෙනුවෙන් දරන පිරිවැය පිළිබඳව සලකා බලා ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යෑම පිණිස මෙසේ විදුලි බිල ඉහළ දැමීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම මිල වැඩිවීමට අනුව මාසික විදුලි පරිභෝජනය ඒකක තිහක් දක්වා සිදුකරනු ලබන පාරිභෝගියන්ගේ විදුලි බිල සියයට 265 කින් ඉහළ නැංවෙමින් මාසික විදුලි බිල රුපියල් 198 දක්වා වැඩිවෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

නව මිල ඉහළ දැමීමට අනුව ඒකක 31-60 අතර විදුලි පරිභෝජනයක් සිදු කරන අයගේ විදුලි බිල සියයට 211 කින් ඉහළ යමින් මාසික විදුලි බිල රුපියල් 599 ක් වන අතර ඒකක 61-90 මාසික විදුලි බිල සියයට 125 කින් ඉහළ ගොස් මාසික විදුලි බිල 1461 දක්වා වැඩි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම ඒකක 91-120 අතර විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන්ගේ මාසික විදුලි බිල සියයට 89 කින් ඉහළ යමින් මාසික අය කිරීම 2976 දක්වා වැඩි වන අතර ඒකක 121-180 අතර මාසික විදුලි බිල සියයට 79 වැඩි වෙමින් රුපියල් 5005 දක්වා ඉහළ යනු ඇත.

විදුලිය සඳහා අය කිරීමේදී ආගමික ස්ථානවලට සහනදායී ක්‍රමවේදයක් අනුගමනය කිරීම මෙතෙක් සිදු කෙරුණි. එහෙත් නව මිල සංශෝධනයට අනුව ඒකක 180 ට අඩු විදුලි භාවිතයක් ඇති පූජනීය ස්ථාන සඳහා සහනාධාරයක් ලබා දී තිබුණද ආගමික ස්ථාන අධික විදුලි පරිභෝජනයක් සිදු කරන්නේ නම් ඒ සඳහාද සාමාන්‍ය පරිදි අය කිරීම් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.

නව මිල සංශෝධනය යටතේ ඒකක 30 දක්වා එක් ඒකකයකට අය කෙරෙන මුදල රුපියල් අටක් වන අතර ඒකක 31 සිට 60 දක්වා ඒකකයකට රුපියල් 12 ක් ඒකක 61 සිට 90 දක්වා ඒකකයකට රුපියල් 16 ක් ලෙස අය කිරීම් සිදුවේ.

මෙම මිල සංශෝධනයේදී ලක්‍ෂ 48 පමණ වන ඒකක 30-90 අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට විශාල බරක් වැටෙන පරිදි මිල සංශෝධනය කරන මෙන් විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කළ ද මහජන උපයෝගිතා කොමිසම එයට ඉඩක් නොතැබූ බව ජනක රත්නායක මහතා පැවසීය.

කොළඹදී ඊයේ (09 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment