වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීහු සුසුම් හෙළති

235

හමුදාව සත්කාරයට බසී

ට්‍රොලිවලට ඉබි යතුරුත් දමලා

වර්ජනය සාර්ථකයි – වෘත්තීය සමිති

අසාර්ථකයි – GMOA

වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස රජයට බල කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඊයේ (16 දා) දිවයින පුරා රජයේ රෝහල්වල පැවැත්වූ පැය විසිහතරක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩාවට මෙන්ම දුෂ්කරතාවට ද ලක්වූහ.

ප්‍රතිකාර සහ සෙසු සේවාවන් ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන්ට සහාය වීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා සිටි අතර රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර කටයුතු ඇතුළු ප්‍රතිකාර කටයුතු දැඩි ලෙස අකර්මන්‍යව පැවතිණි. රෝහල් කීපයකම රෝගීන් රැගෙන යන ඇඳන් (ට්‍රෝලී) මත ඉබි යතුරු දමා තිබෙනු ද දක්නට ලැබිණි.

රජය සෞඛ්‍ය සේවයට කර තිබෙන අසාධාරණ ක්‍රියා නිසා තමන්ට මෙසේ දැඩි දුෂ්කරතා විඳීමට සිදුව ඇතැයි දුර බැහැර සිට රෝහල් වෙත පැමිණ සිටි රෝගී ජනතාව රෝහල් අසල මැසිවිලි නඟමින් රජයට සහ වර්ජකයින්ට සිය දැඩි අප්‍රසාදය පළ කළහ.

වෛද්‍යවරුන්ට හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ට රජය ආර්ථික යුක්තිය ඉටු නොකර දෙවිදිහකට සැලකීමත්, ඒ හරහා සිදුව ඇති අසාධරණයටත් එරෙහි තමන්ට දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බවත් රට පුරා රෝහල්වල පැවැත්වූ වර්ජන ව්‍යාපාරය අතිශය සාර්ථක වූ බවත් වර්ජනයට එක් වූ වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ.

අතුරු වෛද්‍ය සහ පරිපූරක සෞඛ්‍ය කණ්ඩායම් එකවර නින්දෙන් ඇහැරී සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටුමක් සහ බෙදීමක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද වර්ජනයෙන් රෝහල්වලට විශාල බලපෑමක් සිදු නොවූ බවත් සියයට අසූවක්, අනූවක් රෝහල් තුළ දෛනික රාජකාරි සිදුවූ නිසා ඊයේ පැවති වර්ජනය අසාර්ථක බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීහු සුසුම් හෙළති

දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මකව පැවතිය ද ළමා, මාතෘ, වකුගඩු රෝහල්, සහ මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල ස්වෙච්ඡා පදනම යටතේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට වර්ජනයට එක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සෙසු සාමාජිකයන් කටයුතු කර තිබිණි.

වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටිය ද රෝහල් රැසකම ඖෂධ නිකුත් කිරීම රසායනාගාර කටයුතු සහ අංශ කිහිපයක සත්කාර සේවාවන් අඩපණව පැවතිණි. එහෙත් හදිසි ප්‍රතිකාර ඒකක සහ බාහිර රෝගී අංශ ප්‍රතිකාර කටයුතු ද සාමාන්‍ය පරිදි පැවති අතර රෝගීන්ට නිර්දේශිත ඖෂධ ඔසුසැල් මගින් සපයා ගැනීමට පහසුකම් ද සලසා තිබිණි.

රෝගී ජනතාව පීඩාවට පත් වන ලෙස කටයුතු කිරීමට සිදුවීම පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවත් ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

මෙම වර්ජනයට සිය සාමාජිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් එක්වූ බව පැවසූ හෙතෙම මෙම ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත ලිපි 18 ක් යොමු කර තිබූ බව ද සඳහන් කළේය.

වෛද්‍යවරුන් ඉල්ලූ ආර්ථික යුක්තිය ලැබී ඇති නිසා තමන්ට ද සාධාරණය ඉල්ලා සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග හෑල්ලුවට ලක් නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කාර්යාභාරය මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට ඇති බැවින් තම ඉල්ලීම් දිනා ගන්නා තුරු පෙරට තැබූ පය පස්සට නොගන්නා බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියා සිටියාය.

වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීහු සුසුම් හෙළති

මේ අතර රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යෑමට යුද්ධ හමුදා භට පිරිස් යොදවා තිබිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රෝහල් කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යෑම සඳහා භට පිරිස් යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුද හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට හමුදා භට පිරිස් යොදවා ඇත.

ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ, මහනුවර ජාතික රෝහල, කළුබෝවිල, පේරාදෙණිය, මාතලේ, බදුල්ල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල, මාතර, බලංගොඩ, අවිස්සාවේල්ල, මුල්ලේරියාව, අංගොඩ, ඇහැළියගොඩ, නුවරඑළිය, නාවලපිටිය, මොණරාගල, හම්බන්තොට, දෙබරවැව, මැදිරිගිරිය, බකමූණ, හිඟුරක්ගොඩ, ගල්ඔය, හතරැස්කොටුව, දියබෙදුම, අරලගංවිල, දම්මින්න, මනම්පිටිය, පුලස්තිගම, ගල්අමුණ ඇතුළු දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 41 ක 829 ක භට පිරිස් ප්‍රමාණයක් රෝහල් පද්ධතියේ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා දැනට යොදවා ඇත. හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍ය භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් දී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් ද, නාවික හමුදා සාමාජිකයන් 370 කට අධික පිරිසක් ද ලෙස ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1500 කට අධික පිරිසක් රෝහල් සහායක කටයුතු ඉටු කළේය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති සිය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ඇමැතිවරයා පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බවයි.

වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීහු සුසුම් හෙළති

ඊයේ කොළඹ මහ රෝහල….
පින්තූර – නිමල් දයාරත්න

සුජීව තත්සර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ගාල්ල – එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද සහ සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment