ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් නඩත්තු කිරීමට වාර්ෂිකව විශාල මහජන මුදලක් රජය වැයකරයි. හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට 2024 අයවැයෙන් රුපියල් කොටි 11ක් වෙන්කර තිබේ. හිටපු ජනාධිපතිවරුන් හතර දෙනාගෙන් දෙදෙනකු වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේනයි. බංකොළොත් ආර්ථිකයකට විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මේ ආකාරයට වාර්ෂිකව මුදල් වෙන් කළ හැකිද? එසේ කිරීම සාධාරණද? විධායකය සහ ව්‍යවස්ථාදායකය සමස්ත රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කළ යුතුය.

තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්දබූය ශ්‍රී ලංකාවට තීරණාත්මක ලෙස බලපාන ආකාරය අවධාරණය කළ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක /අධ්‍යක්ෂක සන්නිවේදන එච්. ඊ. ජනකාන්ත සිල්වා විසින් දෙසැම්බර් 7 නිකුත් කර තිබිණි.

ඊට දින කීපයකට පෙර රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ යුද හමුදා මූලස්ථානය වෙනුවෙන් නිලධාරීන් කණ්ඩායමක් කළ කරුණු පැහැදිලි කිරීමක් මත නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය පාර්ලිමේන්තුව මෙතුවක් කල් නියෝජනය කළ සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් කර තිබෙන විනාශය අවධාරණය කළේය.

වත්මන් ආර්ථික අභියෝග හමුවේ සෙබළුන්ට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දීම බරපතළ ගැටලුවක් වී ඇති බවට යුද හමුදා මූලස්ථානයට ප්‍රකාශ කිරීමට සිදුවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. රාජකාරියේ නියුතු සෙබළෙකුට දිනකට කැලරි 3,400 කෑම වේලක් ලබා දිය යුතු වුවත් ආර්ථික පරිහානිය හේතුවෙන් එසේ කිරීමට නොහැකි බවට හමුදාව මීට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දී නැත. මෑතකදී ප්‍රකාශ කළ එම තත්ත්වය සමස්ත හමුදාවේම චිත්ත ධෛර්ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහිද ප්‍රබල බලපෑමක් කර ඇති බවද යුද හමුදාව ප්‍රකාශ කළේය.

එලෙසෙම 2021 සිට මේ දක්වා 30,000 ආසන්න ප්‍රමාණයක් යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සහ විශ්‍රාම යෑම හේතුවෙන් ඉවත් වී ඇති බවත් මෙහිදී හෙළිදරව් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ කණ්ඩායමේ ප්‍රබලයකු වන ඩලස් අලහප්පෙරුම මැතකදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් යුද හමුදා සේවයෙන් පිරිස් ඉවත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ආණ්ඩුව එම ප්‍රකාශය නොසලකා හැරියේය. නමුත් එම ප්‍රකාශයෙන් සති කීපයකට පසුව හමුදා මූලස්ථානය රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිගෙන ඇත.

යුද හමුදාවට නිසි ලෙස ආහාර සැපයීමට නොහැකි නම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ තේරුමක් නැත. මෙම තත්ත්වය ඉතාමත් කනගාටුදායකය.

පෝෂ්‍යදායක ආහාර වේලක් සෙබළුන්ට ලබාදීම සම්බන්ධයෙන් ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය යුද හමුදාව පිළිගැනීමෙන් පසුව රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අප (ශ්‍රී ලංකාව) අසමත් බවයි.

සභාපතිවරයා මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ මුදල් කාරක සභාවේ සාමාජිකයන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්දානන්ද අළුත්ගමගේ සහ මධුර විතානගේ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් සහ සමගි ජන බලවේගයේ කාවින්ද ජයවර්ධන ද විය.

පාර්ලිමේන්තුව මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළත් අවාසනාවකට මාධ්‍ය (මුද්‍රිත, නාලිකා සහ සමාජ මාධ්‍ය) නිසි අවධානයක් ඊට යොමු කළේ නැත. එම මාධ්‍ය නිවේදනය ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ස්තුතිවන්ත විය යුතුමය. යුද හමුදාවට නිසි ආහාර වේලක් සැපයීමට නොහැකි තත්ත්වයට ආර්ථිකය පත්කර ඇති දේශපාලන ක්‍රමයක් තුළ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දරාගත නොහැකි පීඩාව තේරුම් ගැනීම අපහසු නැත.

එක්සත් ජාතික පක්ෂය 2048 වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීමට පොරොන්දු වී ඇත. පාර්ලිමේන්තුව අසමත්වීම තුළ රට බංකොළොත් කිරීමට වගකිවයුතු දෙපාර්ශ්වයම ජනතාවට තව දුරටත් විහිළු සපයමින් සිටී. යුද හමුදාවට නිසි පරිදි ආහාර වේලක් සැපයීමට නොහැකි රටක් දියුණු ආර්ථිකයක් බවට පත් කරන බවට වත්මන් දේශපාලන නායකත්වය කරන ප්‍රකාශයට තවදුරටත් රැවටෙන ජනතාවක් සිටින බවට සැකයක් නැත.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදය/අභියෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගනු ලබන ගිවිසුම් මත පමණක් විසඳා ගත නොහැකිය. මීට පෙර 16 වතාවක් එම අරමුදලේ පිහිට පතා ඇති ශ්‍රී ලංකාව 17 වැනි වරට එම ක්‍රියාදාමයට ඇතුළු වන්නේ රට බංකොළොත් බවට නිල වශයෙන් 2022 අප්‍රේල් මාසයේ පිළිගැනීමෙන් පසුවය.

නමුත් ජනතාව රැවටීම දේව කාරියක් ලෙස සලකන දේශපාලන පක්ෂ ක්‍රමයක් තුළ බොරුවෙන් සහ වංචාවෙන් කෙසේ හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සියලුම පක්ෂවල අභිලාෂයයි. එම ක්‍රමය තුළ කිසිදු පක්ෂයක ප්‍රතිපත්ති තවදුරටත් පක්ෂ නායකත්වයට හෝ අදාළ පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට බලපාන්නේ නැත. නාස්තිය, දූෂණය, වංචා සහ අක්‍රමිකතා අඩුවක් නැත.

ඕනෑම තත්ත්වයක් යටතේ කෙසේ හෝ බලය රැකගැනීම අරමුණු කරගත් කණ්ඩායම් කීපයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන රටක ආරක්ෂක හමුදා අන්ත අසරණ තත්ත්වයකට පත්කිරීම කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවේ. රජයේ මුදල් කාරක සභාවේ ඉදිරියේ හෙළිදරව් වූ මහා අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ජනතාව තේරුම්ගත යුතුය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියකු අවශ්‍යමද ?

මේජර් ජෙනරාල් සංජය වනසිංහ යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික තනතුරට පත්වූයේ 2023 ජුලි මාසයේ 15 දිනය. ඒ මේජර් ජෙනරාල් සී.ඩී. වීරසූරිය විශ්‍රාම යෑමත් සමඟය. හිටපු හමුදාපතිවරයකුගේ පුත්‍රයා වූ සංජය සේවා දිගුවක් ලැබී නව හමුදාපතිවරයා ලෙස නව වසරේ පත්විය හැකි බවට වාර්තා පලවිය. නමුත් ඔහු ඔක්තෝබර් 13 දින විශ්‍රාම ගැන්වීය. මෙම ලිපිය 2023 දෙසැම්බර් 11 දින සම්පාදනය කරන අවස්ථාව වනවිටත් යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික තනතුරට කිසිවකු පත්කර නැත. නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික තනතුර ද දෙසැම්බර් 01 දින සිට හිස්ව පවතී. මෙම තනතුරු දෙක හිස්ව පැවතීම සමස්ත අර්බුදයේම කොටසක් නොවන්නේද?

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නැඟූ ප්‍රශ්නය ආණ්ඩුව මගහැරියේය. මේජර් ජෙනරාල් වනසිංහ සමගි ජන බලවේගය මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ගේ මස්සිනා වීම හමුදාපතිධුරය දැරීමට දේශපාලනික වශයෙන් නුසුදුසුකමක් විය නොහැක.

සමස්ත අර්බුදය වහාම අවබෝධ කරගත යුතුය. ඇත්ත වශයෙන්ම දැනටමත් පාර්ලිමේන්තුව ප්‍රමාද වැඩිය. දේශපාලන බල අධිකාරියේ අවශ්‍යතාවයට යුද හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික තනතුරු දෙකක් හිස්ව තබාගැනීම, සෙබළුන්ට නිසි ආහාර වේලක් සැපයීමට අපොහොසත්වීම, සැලසුම් නොකළ පරිදි පිරිස් බලය හීනවීම (නිත්‍යානුකූල නොවන අයුරින් ඉවත් වීම සහ විශ්‍රාම යෑම හේතුවෙන්), 2024 වනවිට පිරිස් බලය 135,000 දක්වා පහත හෙලීමටත් 2030 වන විට හමුදා ශක්තිය 100,000 ට අඩු කිරීමටත් බලාපොරොත්තු වන බවට කර තිබෙන ප්‍රකාශය නැවත විමසා බැලිය යුතුය.

යුද හමුදාවට ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ට හිඟ බිල්පත් වගවීමට අදාළව රු. බිලියන 16.5 ක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අනුමැතිය පසුගියදා ලබා දීම නැවත අවධාරණය කළේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයයි. එම පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය ලබා දෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ඉතාමත් වැදගත් කාරණාවක් පෙන්වා දුන්නේය. එනම් රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණය සහිත ආහාර වේලක් සෙබළුන්ට ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගැනීමේ අවශ්‍යතාවයයි.

මහා බැංකු අධිපතිවරයකු බැඳුම්කර වංචා චෝදනාවට ශ්‍රී ලංකාවේ ඕනෑම ආයතනයක් මහජන මුදල් සම්බන්ධයෙන් විශ්වාසය කඩකළ හැක. එම තත්ත්වය පිළිගැනීමට කිසිවකු පසුබට විය යුතු නැත.

ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය 2009 මැයි 19 නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී පරාජය කරන අවස්ථාවේදී ස්වේච්ඡා පිරිස් ඇතුළුව සමස්ත හමුදාව 205,000 විය. ඒ 2006 වසරේ සිට ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය මූලික සාධකයක් ලෙස කළ බඳවාගැනීම් නිසා 2006 දී 116,000 වූ පිරිස් බලය 2009 මැයි වනවිට 205,000 විය.

යුද්දය අවසන් වීමෙන් පසුව සැලසුම්සහගතව පිරිස් බලය යම් ප්‍රමාණයකට අඩු කිරීමේ අවශ්‍යතාවයක් ඇත. එසේ කිරීමේ කිසිදු වරදක් නැත. අවශ්‍ය පරිදි යුද හමුදාව නැවත ස්ථානගත කිරීමේදී සියලු තත්ත්වයක් අවධානයට ලක්කිරීම අනිවාර්යෙන්ම විය යුතු කාර්යයකි. පාස්කු ප්‍රහාරය (2019 අප්‍රේල්), කොවිඩ් ව්‍යසනය (2019-2021) සහ 2022 ප්‍රකාශයට පත්කරන ලද බංකොළොත්භාවය තුළ රටේ සෑම අංශයක්ම අර්බුදයට ලක්විය. සෙබළුන්ට නිසි ආහාර වේලක් ලබා දීමට මහා භාණ්ඩාගාරයට ශක්තියක් නොමැති බවට රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ වීම අර්බුදයේ උච්ඡතම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

නිවැරදි වාර්තාකරණයේ අවශ්‍යතාවය අවධානයට

මෑතකදී යුක්රේනය සහ රුසියාව අතර යුද්දයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත් වූ නිලධාරියකු මරණයට පත්වූ බව වාර්තා විය. රනිෂ් හේවගේ ලෙස හඳුන්වනු ලැබූ එම හිටපු නිලධාරියා පළමුවන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කැප්ටන්වරයකු ලෙස හැඳින්විණි. ද්‍රවිඩ ත්‍රස්තවාදයට එරෙහි යුද්දය අවසන් කර වසර නමයකට පසුව එනම් 2018 හේවගේ විශ්‍රාම ගිය බව වාර්තාවිය. යුක්රේන සටන් භූමියේ හේවගේ කළ මෙහෙයුම් රුසියානු හමුදා භට පිරිස් භීතියට පත්කළ බවටද වාර්තා පලවිය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සියල්ලම ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කැප්ටන්වරයකු ලෙස හඳුන්වනු ලැබීය.

යුද භූමියේ දක්ෂතා හේතුවෙන් යුක්රේන ජනාධිපතිවරයා හේවගේව ඔවුන්ගේ පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියා වශයෙන් පත් කළ බවටද වාර්තා පලවිය. යුක්රේන යුද භූමියේ හේවගේ දක්ෂතා දැක්වූ බවට සැකයක් නැත. කෙසේ වෙතත් මෙම වාර්තාකරු යුද හමුදාවෙන් කළ විමසීමකදී අනාවරණය වූයේ හේවගේ යුද සමයේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හෝ විශේෂ බළකායේ සේවය කර නොමැති බවයි. තවදුරටත් අනාවරණය වූයේ ශ්‍රී ලංකා මිලිටරි ඇකඩමියෙන් 2009 දී සමත්වූ හේවගේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ (1 SLLI) දෙවන ලුතිනල්වරයකු ලෙස පත්වීම ලැබූ බවත් බලවත් විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ 2012 සැප්තැම්බර් 30 ඔහුව හමුදාවෙන් නෙරපා දැමූ බවත්ය.

යුක්රේන සටන් භූමියේ හේවගේට අමතරව තව හිටපු ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකු මියගිය බවට වාර්තා වී ඇත. හිටපු හමුදා සාමාජිකයන් යුක්රේන හමුදාවට බැඳීමට එරෙහිව/වැළැක්වීමට ශ්‍රී ලංකා රජයට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අවස්ථාවක් තිබේ දැයි මෙම ලියුම්කරු විදේශ සහ අධිකරණ අමාත්‍යවරුන් වන පිළිවෙළින් ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ආචාර්ය සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගෙන් විමසීය. අමාත්‍යවරුන් දෙදෙනාම පෙන්වා දුන්නේ එසේ කළ නොහැකි බවයි. හිටපු හමුදා සාමාජිකයන් නීත්‍යානුකූල ලෙස රටින් පිටවූ පසුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජයට මැදිහත් විය නොහැකි බව සබ්රි අමාත්‍යවරයා අවධාරණය කළ අතර අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විදේශිකයන් තම හමුදාවලට බඳවා ගැනීම අදාළ රටවල කාර්යක් බවයි.

සමස්ත ආරක්ෂක හමුදාවල අවශ්‍යතාවයන් මෙන්ම විශ්‍රාම ගිය නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ සුව දුක් සොයාබැලීමද කුමන පක්ෂය බලයේ සිටියත් එම ආණ්ඩුවේ යුතුකමයි. එලෙසෙම වගකීමයි. විශ්‍රාමික ඉහළ නිලධාරීන්හට තානාපති සේවයේ ඉහළම තනතුරු පිරිනැමීම හෝ රජයේ ඉහළ තනතුරු දීම කිසිසේත්ම සමස්ත විශ්‍රාමික හමුදා සුභසිද්ධිය සඳහා නොවේ.

පාර්ලිමේන්තුවේදී සිදුකළ හෙළිදරව්ව දේශපාලන බල අධිකාරියේ අවධානයට යොමු විය යුතුමය. මිලියන 1.3 අධික තඩි රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන ආණ්ඩුවට (කුමන පක්ෂය බලයේ සිටියත්) හමුදා සෙබළුන්ට නිසි ආහාර වේලක් සැපයීමට නොහැකි බව පැවසිය හැකිද?

මාසයකට දින 8 ක් රැස්වෙන පාර්ලිමේන්තුවේ ද කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියල්ලන්ට ආහාර සැපයේ. ඝණ පූර්ණය නොමැතිව රැස්වීම පසුදිනට කල් තබන දිනවලදීද ආහාර පිසින බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම තත්ත්වය තේරුම් ගැනීමට අපහසු නැත. නමුත් සෙබළුන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දීමට නොහැකි බව යුද හමුදාව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකරන තුරු සමස්ත ජනතාව මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් වී සිටියේ නැති බව අමුතුවෙන් කිවයුතු නැත.

අපූරු හෙළිදරව්වක්

පාර්ලිමේන්තු කොමිටි හරහා හෙළිදරව් වන කරුණු කාරණා අනුව රාජ්‍ය අංශයේ දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සීමාවක් නැත. රට බංකොළොත් බවට ප්‍රකාශ කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කිසිවකු පුදුම විය යුතුද නැත. මහා භාණ්ඩාගාරයට හිමි හිඟ බදු අය කරකර ගැනීම පුදුමාකාර අභියෝගයකි. ක්‍රියාත්මක ක්‍රමය තුළ අදහාගත නොහැකි ආකාරයට බාධක ඇත. මෙම තත්ත්වය අවධාරණය කිරීමට අපූරු උදාහරණයක් දිය හැක.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක 2023 ජූනි 30 වන දිනට රු. මිලියන 100 ක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2023.07.24 දින කාරක සභා වාරයේ දී කරන ලද නියෝගය ප්‍රකාරව අදාළ වාර්තාව කාරක සභා රැස්වීම් වාර දෙකකදී එම දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එය ලබා නොදුන්නේ මන්දැයි පසුගිය දෙසැම්බර් 6 වනදින විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නීතිපතිගේ (ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්) මතය විමසා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරන ලදී.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ අවධාරණය කළේ දෙසැම්බර් 31 දිනට පෙර එම ලැයිස්තුව තමන්ට ලබා දෙන ලෙසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව ලබා දී ඇති නිර්දේශ අතුරින් සමහර නිර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටීම, නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී සිය අසතුට පළ කර සිටියහ.

අවශ්‍යනම් නීතිපතිවරයාගෙන් අදහස් විමසීමක් කිරීමේ වරදක් නොමැත. නමුත් 2023 ජුලි මාසයේ 24 වන දින පාර්ලිමේන්තුව කළ ඉල්ලීමක් 2023 දෙසැම්බර් 06 වන දින වනතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට නොහැකි වූ බව කිසිසේත් පිළිගැනීමට නොහැකිය. දහහත් වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දනනමා ඇති ශ්‍රී ලංකාවට තවමත් නිසි පරිදි බදු එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට වුවමනාවක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment