හිටපු පා. මන්ත්‍රී ශ්‍රී රංගාගේ මාරක අනතුරේ සාක්ෂි වසං කළ සෙට්ටිකුලමේ හිටපු ස්ථානාධිපතිට අත්හිටවූ සිරදඬුවම්

353

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී ශ්‍රී රංගා විසින් සිදු කළ රිය අනතුරක සාක්කි වසං කළේ යැයි චෝදනා ලබා සිටි එවකට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව නමැත්තාට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් මාස හයක සිරදඬුවමක් නියම කොට එය වසර හතක කාලයකට අත්හිටුවන ලෙස 9 දා නියම කළේය.

එමෙන්ම සාවද්‍ය ලෙස රිය අනතුරක් සිදු කොට පොලිස් සැරයන්වරයකු මරා දමා ඇති නිසා ඔහුගේ බිරිඳට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ පහක මුදල් ගෙවීමටද විනිසුරුවරයා නියෝග කළේය.

රියඅනතුරක් සිදුකොට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා එම නඩු විභාගයේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම යන චෝදනා මත දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ලබන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

2011 වසරේ මාර්තු 30 වැනි දින සැකකාර මන්ත්‍රීවරයා මැදවච්චිය සිට සෙට්ටිකුලම ප්‍රදේශයට ලියාපදිංචි නොකළ ජීප් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවක සෙට්ටිකුලම රෝහල ඉදිරිපිට රිය අනතුර සිදුව ඇති අතර එහිදී අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජී. උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මියගොස් සිටි අතර සාවද්‍ය තොරතුරු වාර්තා කරමින් සැරයන්වරයා රිය පදවා ජීවිතක්ෂයට පත්වූ බවට පවසා එවකට රාජකාරී කළ පොලිස් නිලධාරීන් හා එක්ව විමර්ශන අවසන් කොට ඇති බවට අධිකරණයේදී ප්‍රකාශ විය.

එම අනතුර සම්බන්ධයෙන් මියගිය සැරයන්වරයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැත්වූ විමර්ශනයකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා විසින් රිය පදවා අනතුර සිදුකොට ඇති බවට අනාවරණයවූ අතර අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් වවුනියාව මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

අදාළ නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් දෙදෙනකුට දුරකථනයෙන් බලපෑම් කරමින් අනතුරව එම සාක්ෂිකරුවන් වෑන් රථයක නංවාගෙන වෙනත් ස්ථානයකට ගොස් සාක්ෂි ලබා නොදෙන ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේද පසුගිය මාර්තු 28 වැනිදා නඩු පවරනු ලැබීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment