ඩවුන් සවුත් සංචාරක සුද්දාගේ කථා වස්තුව…..

1647

ලෝක ප්‍රකට මාකෝපෝලෝ නමැති ඉතාලි ජාතික දේශගවේශකයා ලංකාවට පැමිණි මුල් ටි්‍රප් එකේදීම මෙසේ කීවේය. “ලංකාව යනු එහි ප්‍රමාණය හැටියට ලෝකයේ තිබෙන හොඳම දූපතය.” මෙහිදී තවත් වැදගත් කාරණයක් සිහිපත් කරමු. මාකෝපෝලෝ ලංකාවට ආවේ දොළොස්වන ශතවර්ෂයේදීය. එදා ඔහු මෙහි එනවිට ශ්‍රී ලංකාව තනිකරම ආර්ථික මැෂින් එකකි. ඒ කාලයේදීත් චීන, රෝමන් යන ජාතීන්ට අයත් ටුවරිස්ලා මෙහි ඕනෑ තරම් පැමිණියහ. එමතුද නොව කුළුබඩු, මැණික්, මුතු සහ ඇත්දළ යනාදිය මේ රටෙන් පිටරට යැවීම සිදු කෙරිණ. ඇත්දළ වැඩේනම් තනිකරම කාලකණ්ණි වැඩකි. ඇතා ගමට පැමිණ දළ දෙක ගලවා ගන්නා ලෙස මිනිසුන්ට කියන්නේ නැත. දළ ගලවා ගැනීම සඳහා මේ යෝධ සතා මැරිය යුතුය. ලංකාවේ සිටි හැම රජෙක්ම පාහේ දළ කපා ගැනීම පිණිස ඇතුන් මැරීමට දඩයක්කාරයන්ට ඉඩ දුන්නේය. අන්තිම බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයාද මේ සම්ප්‍රදාය එහෙමම පවත්වාගෙන ගියේය. මේ දැවැන්ත රාජකීය සතා ඝාතනය කිරීමෙන් සිංහල ජාතියට වැදුණු හෙණය දිගටම පවතිනවා ඇත.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් හිසඔසවමින් පවතී. පාස්කු බෝම්බය නිසා විදේශිකයන් බර ගණනක් මියයාමත් සමඟම ලංකාවේ සංචාරක ව්‍යාපාරය මහපොළොව මත හාන්සි විය. කොරෝනා වසංගතය නිසා එය අඩි කිහිපයක වළක් හාරා ගෙන මහපොළොව යට සැතපුණේය. ඉන් පසු ටිකෙන් ටික සංචාරකයෝ මෙහි පැමිණීමට පටන් ගත්හ. මුලින්ම පැමිණියේ රුසියානුවනුත්, යුක්රේන් ජාතිකයනුත්ය. ඊට පසු චීන්නුත්, ඉන්දියානුවෝත් එහි පැමිණියහ. මේ සංචාරක ස්ථරයෙන් මුදලක් හදලක් හරියට වියදම් කළේ රුසියානුවෝත්, යුක්රේන් ජාතිකයෝත් පමණි. ඉතිරි කට්ටිය කොළඹ තරු පහේ හෝටල්වල ලැගුම්ගෙන ආහාර ගැනීම පිණිස ගෝල්ෆේස් එකේ නානගේ කඩේට පැමිණියහ. නූතන ලෝකයේ සංචාරක ව්‍යාපාරයෙහි ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වී පවතී. දවසක ඩොලර් හාරපන්සියය වියදම් කරමින් සුඛෝපභෝගී ලෙස ජීවත්වන සංචාරකයන් දැන් මෙහි එන්නේ 10% ක් පමණි. ඉතුරු සංචාරක පිරිස බැක් පැක් සංස්කෘතිය නියෝජනය කරන අර්ධ යාචක සංචාරකයෝය. පිටේ බෑග් එකක් එල්ලාගෙන මෙහි ගොඩ බසින ඒ සංචාරකයන් ගමන් යන්නේ පයින් හෝ බස්වල හෝ කෝච්චිවලය. ඔවුන් උදේට කන්නේ චූන් පාන් ගෙන්ය. දවල් කෑමක් පිළිබඳ ඔවුන්ට වුවමනාවක් නැත. සමහර විට එක කුරුම්බාගෙඩිය බී දෙකට පලාගෙන මද කා ජීවත් වීමට මෙවැනි සංචාරක ජෝඩුවලට පුළුවන. ඔවුහු රෑට එක කොත්තු රොටියක් කති. ස්ටේෂන්වල නිදා ගනිති. සාමාන්‍යයෙන් මෙකල ලංකාවට එන හයි ෆයි ටුවරිස්ලා පවා කොළඹ හෝටල්වල සිටින්නේ දවස් දෙකක් පමණි. පළමු දවස නම් ඔවුන් කටුනායක එයාර්පෝට් එකෙහි සිට මෙරටට එන දවසයි. ඒ දවස ෆයිව් ස්ටාර් හෝටලයක ගතකරන ඔවුහු ඩවුන්සවුත් ලෙස හැඳින්වෙන දකුණු පළාතේ ඈත කොන්වලටත් නුවරඑළියට හෝ මහනුවරටත් ගමන් කරති. සති දෙකක් පමණ ඒ ඒ පළාත්වල චූටි චූටි හෝටල්වල සිටින මේ අය හිටපු ගමන් ඉලෙක්ටි්‍රක් අයන් එක රත් කර බිත්තරයක් කඩා ඒ මත දමා බුල්ස්අයි එකක් පිළියෙල කරගෙන පාන් භාගයක් සමඟ ගිල දමති. ඔවුන් ආපසු කොළඹ තරු පහේ හෝටලයට එන්නේ මව් රට බලා යෑමට පැය 24 කට කලිනි. එදා දවසේත් ස්ටී්‍රට් ෆෘඩ් යන සංකල්පය භුක්ති විදීමට යැයි කියමින් මහපාරේ නවත්වා ඇති ලොරිවලින් නූඩ්ල්ස් කති. ලංකාවට විදේශ මුදල් ලැබුණු ප්‍රධානම මාර්ගයක් ලෙස එක් යුගයකදී කැපී පෙනුණේ සංචාරක ව්‍යාපාරයයි. ඊට අමතරව ගාමන්ට් ව්‍යාපාරයෙන් සහ විදේශ රැකියා කරන අයගෙන් රටට විදේශ විනිමය ලැබුණි. සංචාරක ව්‍යාපාරය අද පත්ව ඇතිව තත්ත්වයට අනුව එයින් හරි ගියේ එයාර් ලයින්වලට පමණි. එයාර්ලයින් එකට එන ආදායම එසේම පවතින අතර සංචාරකයාගෙන් හිතූ තරමට ආදායමක් ලැබෙන්නේ නැත. මෙයට අවුරුදු 25 කට පෙර ලෝ බජට් සහ හයි බජට් යනුවෙන් සංචාරකයෝ වර්ග දෙකක් සිටියහ. මේ දෙගොල්ලන්ගෙන් හයි බජට් කට්ටිය අද වන විට අතුරුදන්වී ඇති අතර ඉතිරිව සිටින්නේ ලෝ බජට් කට්ටිය පමණි.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය විශාල අල ගොඩක් බවට පත්කරන දෙයක් සිදුවෙමින් පවතී. එනම් ලංකාවට එන ලෝ බජට් ටුවරිස්ලා දකුණු පළාතේ බිස්නස් කරන්නට පටන් ගැනීමය. මේ ටුවරිස්ලා කුලියට ත්‍රිරෝද රථ ලබාගෙන සුද්දන් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටිති. මෙහිදී ස්වදේශික ත්‍රීවිල්කාරයා පාරට වැටෙන අතර සුද්දන් ප්‍රවාහනය කරන ත්‍රීවීල් සුද්දා ඩොලර් රැස් කරගනී. එසේම ඇතැම් සුද්දන්ට ගයිට්ලා ලෙස කටයුතු කරන්නේද මෙබඳු සංචාරක සුද්දන්ය. විදේශ මුදල් මාරු කරගැනීම, හෝටල් සොයා ගැනීම, වෙනත් සැප සනීප ලබාගැනීම යන සියලු දේ මේ සංචාරක සුද්දෝ සෙසු සංචාරක සුද්දන්ට සපයති. මෙය දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වන ස්වදේශිකයන් අතර විශාල අර්බුදයක් ඇති කර තිබේ. කොයි වෙලාවක හෝ මෙය කෙළවර වනු ඇත්තේ සංචාරකයෙක් ස්වදේශිකයකුගෙන් පිහි පාරක් කෑමෙනි. අන්න එදාට ලංකාව සංචාරකයාට නුසුදුසු රටක් ලෙස රතු නිවේදනයක් නිකුත් කෙරෙනවා ඇත. එවිට නැවත වතාවක් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් අවශ්‍ය වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment