හෙටට කල් නොදා අදම කළ යුතු වෘත්තීය මාර්ගෝපදේශනය

105

මිහිපිට වාසය කරන සෑම පුද්ගලයෙකුගේම වැදගත් හා ප්‍රධාන ජීවන අංගයක් ලෙසින් ඔහු හෝ ඇය නිරත වන වෘත්තිය දැක්විය හැක. විවිධාකාර ලෙසින් බෙදී වෙන්ව පවතින සෑම වෘත්තියක්ම සමාජයට අත්‍යවශ්‍ය වන්නා සේම කිසිදු වෘත්තියක් ලොකු කුඩා වශයෙන් දැක්වීමට පුළුවන් කමක් නැත. රැකියාවට පිවිසීමට පෙර හා රැකියාවේ නියුතුව සිටියදී මෙන්ම රැකියාවෙන් විශ්‍රාම ගිය පසුව ජීවිතය හැඩගස්වා ගතයුතු ආකාරය පිළිබඳව ඔවුනොවුන්ට ලබාදෙන්නා වූ උපදේශනය වෘත්තීය මාර්ගෝපදේශනය ලෙසින් හැඳින්වේ.

රැකියාව සෑම දෙනාගේම දිවි ගමනේ ප්‍රධාන අංගයක් වන්නේය. තමන් ඇතුළු පවුලේ විවිධාකාර වූ අවශ්‍යතාවන් සපුරා ගැනීම උදෙසා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම යනුවෙන් හඳුන්වන ක්‍රය ශක්තිය වෙනුවෙන් රැකියාව තුළින් ලැබෙනුයේ මහඟු පිටුවහලකි. ඒ අනුව සෑම අයෙකුටම කුමන හෝ ආකාරයේ රැකියාවක නියුතුවීම වර්තමානයේ මග හැරිය නොහැකි සිදුකළ යුතුම ජීවන කාර්යයක් වන්නේය. එනිසාම නියුතු රැකියාව ජීවන වෘත්තිය ලෙසින් හැඳින්වීමද සිදුවේ.

වර්තමාන සමාජය දෙස බලන කළ බොහෝ දෙනා තමන්ට ගැළපෙන, කළ හැකි, තම ධාරිතාවට සරිලන රැකියාව කුමක්ද යන්න නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවක් නොපෙන්වීම කණගාටුවට කරුණකි. එවැනි විටකදී රාජ්‍ය හෝ පෞද්ගලික මැදිහත්වීමක් තුළින් විවිධ වෘත්තීන් පිළිබඳව අවබෝධාත්මක දැනුමක් ලබාදීමෙන් පෞද්ගලිකවත් පොදුවේත් මහත්වූ වාසිදායක තත්ත්වයක් උදාවන්නේය. තමන් ලබාගත් අධ්‍යාපන මට්ටම අනුව රැකියා වෙළඳපොළ තුළ තමාට වඩාත් ගැළපෙන, ඉහළ වැටුපක් උපයාගත හැකි රැකියා අවස්ථාවක් උදාකර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම හා මැදිහත්වීම් සොයාගැනීම වෘත්තීය මාර්ගෝපදේශයෙන් සිදුකරනු ලබන්නේය. දිනෙන් දින ඉයළ යන රැකියා ඉල්ලුම හමුවේ වඩා ඵලදායි රැකියා ලාභියෙක් බිහිකිරීම වස් වෘත්තීය මාර්ගෝපදේශනය වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය අනිවාර්ය කාර්ය සාධනයක් ලෙසින් හැඳින්විය හැක.

සියල්ලන් තෝරාගෙන කරන රැකියා කිහිපයක් පසු පසම හඹායෑමේදී තමාට වඩාත් උචිත බරැකියා අවස්ථාව මගහැරී යෑමට ඉඩ ඇත. කරන්නන් වාලේ සිදුකරන රැකියාව පිළිබඳ වැටහෙන විට කාලය ගතවීමෙන් ඇති වනුයේ ස්වයං දොම්නසකි. ඒ වූ පසුතැවීම විවිධාකාර ලෙසින් ඔවුනොවුන්ගෙන් පිටවීම සමාජයටම ඛේදවාචකයක් වන්නේය.

එසේම තම රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට – අසාධාරණයන්ට ලක්වන පිරිස් වැඩි බවක් දක්වයි. ආර්ථික, දේශපාලනික හා මානසික ආදී හේතු රැකියා සථානයේ ගැටලු හා අසාධාරණයන්ට හේතුකාරණා වී ඇත. සිය වෘත්තිය සම්බන්ධයෙන් නිසියකාර දැනුමක් හා පුහුණුවක් නොමැතිවීමෙන් නව්‍ය සමාජයේ රැකියාව ආශ්‍රිත නිරතවීමේදී ඇතිවන මානසික පීඩනය දරාගත නොහැකි වන්නේය. එනිසාම ජීවිතය පවා නැතිකර ගැනීමට ඔවුන්ගේ පෙළඹවීමක් පෙන්නුම් කරන්නේය. මෙවැනි තත්ත්වයක් ඇති වනුයේ ඔවුන් රැකියාවේ නිරතවීමේදී ඒ කෙරෙහි නිසි උපදේශනයක් ලබා නොමැතිවීම බව අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවන්නේය.

එසේම සිය ජීවිතයේ වැඩි කාලයක් ගතකළ – කැපකළ රැකියාවෙන් පසු එළැඹෙන විශ්‍රාම දිවිය පිළිබඳව ද මනාවූත් නිවැරැදිවූත් අවබෝධයක් ලබා තිබීව සුවදායී දිවි පැවැත්මකට හේතු සපයන්නේය. රැකියාවේදී සමූහයක් සමග එක්ව ගැටී ගතකළ ජීවිතය විශ්‍රාම ගිය පසු මානසිකව විඳදරාගෙන ගත කිරීමට අසීරුතාවක් හට ගැනීම කාට වුවද පොදු ප්‍රවණතාවක් විය හැක. තනිකම, පාළුව මෙන්ම, තම ජීවිතය සිය නිවසටම කොටුවීම තුළින් ඇතිවන මානසික පීඩනය ශාරීරික රෝගාබාධයන්ට හේතුවිය හැකි බව අමුතුවෙන් පෙන්වා දියයුතු කරුණක් නොවන්නේය.

විශ්‍රාමිකයාගේ ජීවිතයේ ඉදිරි කාලය ඔවුනොවුන්ගේ ආගමික නැඹුරුවීම් අනුව ඒ වෙනුවෙන් කාලයක් වෙන්කිරීමෙන් ජීවතයේ සැඳෑ සමයට මහත් අස්වැසිල්ලක් උදා කරන්නේය. එමෙන්ම ගෙවතු වගාවට යොමුවීමෙන් එළවළු, පලතුරු, මල් වගා කිරීම තුළින් මානසික සුවයක් වගේම ආර්ථික ප්‍රතිලාභයක් ගෙන ඒමක්ද වන්නේය.

රැකියාවෙන් විශ්‍රාම යෑමට පෙරාතුව ඒ පිළිබඳව කල්තියා සූදානම්වීම සෑම වෘත්තිකයෙකුම කළ යුතු කාර්යයක් වන්නේය. විශ්‍රාමිකයාගේ විශ්‍රාම දිවියේ ගමන් මග පිළිබඳ වෘත්තීය මාර්ගෝපදේශකයන් තුළින් ලබාදෙන උපදෙස් හා දැනුවත් කිරීම් තුළින් තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් ගොඩනඟා ගත හැකිවනු ඇත. ගත කරනු ලබන්නේ ජීවිතයේ අවසන් කාල පරාසය බවත් එහිදී තම සිතුවිලි හා හැසිරීම් කෙසේ විය යුතු ද යන්න වටහාදීමක්, ජීවිතයේ සමුගැනීමට සූදානම් වියයුතු ආකාරයත් පිළිබඳව මේ තුළින් ලබාදෙන උපදේශනය ඉතා ප්‍රශස්ත ක්‍රියාදාමයක් ලෙසින් දැක්විය හැක.

වෛද්‍ය ආර්. එල්. ආර්. ගුණවර්ධන
නේවාසික වෛද්‍ය නිලධාරී
ආයුර්වේද රෝහල
බොරැල්ල.

advertistmentadvertistment
advertistmentadvertistment