5000 හොර නෝට්ටු ගැසූ දෙදෙනා කටුනායක පොලිස් දැලේ

218

රුපියල් පන්දාහේ හොර නෝට්ටු මුද්‍රණය කර වෙළෙඳපොළට යැවූ මොහොතේම සැකකරු කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ආඬිඅම්බලමේ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මෙම සැකකරු තවත් මිත්‍රයකුගේ සහයෝගය ඇතිව ප්‍රින්ටරයෙන් රුපියල් පන්දාහේ නෝට්ටු තොගයක් මුද්‍රණය කර තිබේ.

මෙසේ මුද්‍රණය කළ රුපියල් පන්දාහේ හොර නෝට්ටුවල වටිනාකම රුපියල් හැත්තෑපන්දාහකි.

මේ අනුව මෙම සැකකරු එම හොර නෝට්ටුවලින් එක නෝට්ටුවක් එම ප්‍රදේශයේ බෝඩිමක සිටි තරුණියකට දී තිබේ. මේ සල්ලිවලින් ඔයා කැමති දෙයක් ගන්න යැයි සැකකරු ඇයට පවසා ඇත.

හදිසියේම අතට ලැබුණු මෙම රුපියල් පන්දාහේ හොර නෝට්ටුව රැගෙන ඇය අසල වෙළෙඳ පොළට ගොස් තිබේ.

මෙම නෝට්ටුව අතට ගත් කඩ හිමියා ඒ ගැන සැක සිතී කටුනායක පොලිසියට දැනුම්දී ඇත.

පොලිසිය මෙම රුපියල් පන්දාහ, හොර නෝට්ටුවක් බවට තහවුරු කරගෙන එම තරුණියගෙන් ප්‍රශ්න කර ඇත.

පසුව සැකකරුවන් දෙදෙනා ඒ මොහොතේම පොලිස් භාරයට ගෙන තිබේ. මුද්‍රණය කිරීමට යොදාගත් ස්කෑනර් යන්ත්‍රය ප්‍රින්ටරය සමග ඔවුන් මුද්‍රණය කළ හොර නෝට්ටු තොගය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සර්, අපි මේ වැඩේ පටන් ගත්තා විතරයි යැයි සැකකරුවකු කටුනායක පොලිසියට පවසා ඇත.

කටුනායක සහකාර පොලිස් අධිකාරි එම්. ජී. රත්නනායක මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශනය කරති.
නෝමන් පලිහවඩන, කටුනායක බී. ටී. කේ. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment