අපි එකට එකතු වෙලා නවින ලෝකයට ගැළපෙන්න රට ගොඩනගමු

96

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සටන අරඹමු හම්බන්තොටින් දිස්ත්‍රික් සම්මේලනයේදී කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහා දැවැන්ත දේශපාලන බලවේගයක්. පසුගිය කාලයේ අපි හා බොහෝ අය අතර හිත් අමනාපකම් ඇති වුණා. සමහර ඒවා ප්‍රථිපත්තිමය කාරණා. සමහර ඒවා දේශපාලනික කාරණා. ඒවා කුමක් වුවද අපෙන් වෙන් වෙලා ගිය අපේ දේශපාලන සහෝදර මංත්‍රිවරුන්ට ආරාධනා කරනවා. අපි සාකච්ජා කරමු. එන්න අපි එකට එකතු වෙලා නවින ලෝකයට හරියන්න මේ රට ගොඩ නගන්න අවශ්‍ය කටයුතු කරමු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අපි එකට එකතු වෙලා නවින ලෝකයට ගැළපෙන්න රට ගොඩනගමු

ඒ මහතා මේ බව පැවසූවේ ඉකුත් 30දා තංගල්ලේදී පැවති සටන අරඹමු හම්බන්තොටින් මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලනය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීිය.

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සමහර වැඩ පිළිවෙළවල්වලට වගේම ඇතැම් යෝජනාවලට අපි එකග වෙන්නේ නෑ. පහුගිය කාලේ මත්තල ගුවන් තොටුපොල විජාතිකරණය කරද්දි අපි උද්ඝෝෂණය කළා. අපි හිරේ ගියා ඒ වෙනුවෙන්. වර්තමානය වන විටත් නැවත වතාවක් මත්තල ගුවන්තොටුපොල පුද්ගලික කිරීම පිළිබදව සාකච්ජාවක් යනවා. අපි ගුවන් තොටුපොලක් හැදුවේ වී ගබඩා කරන්න නෙමෙයි. අපි වරායක් හැදුවේ කුණු කොල්ලෙට තමන්ගේ අවශ්‍යතාවය මත විජාතීයකරණය කරන්න නෙමෙයි. අධිවේගි මාර්ගයක් හැදුවේ ඇඹුල් තියල් ගෙනියන්න නෙමෙයි. අපි නෙළුම් කුළුණ හැදුවේ ෆෙස් බුක් එකේ ෆොපයිල් පින්තූරයට දමන්න නෙමෙයි. මේවා අපි අපේ රජයක් යටතේ ආරම්භ කළේ රට දියුණු කරන්න. ජාත්‍යන්තරය සමග ඉදිරියට යන්න.

අපි එකට එකතු වෙලා නවින ලෝකයට ගැළපෙන්න රට ගොඩනගමු

පොහොට්ටුව හම්බන්තොටින් සටන අරඹයි…

 ‘සටන අරඹමු හම්බන්තොටින්’ යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය පෙරේදා (30 දා) තංගල්ල නගරයේදී පැවැත්විණි.

 රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතාගේ සංවිධානත්වයෙන් පැවැති මෙම සම්මේලනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, මුල්කිරිගල ආසන සංවිධායක කපිල දිසානායක ඇතුළු කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, වෘත්තීය සමිති නායකයන්, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද හැට නව ලක්ෂයේ ජන වරමට අයිතිකාරයෝ ගොඩාක් ඉන්නවා. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. පාර්ලිමේන්තුව අතුලෙත් එක එක පැත්තට බෙදිලා ඉන්නවා මේ හැට නව ලක්ෂය. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. මේ හැම දෙනාම බෙදා ගන්නේ අපේ තාත්තගේ හැට නව ලක්ෂයේ ජන වරම කියලා මොන පැත්තේ වාඩි වෙලා හිටියත්. ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා ඉදිරියේ එන ඕනැම මැතිවරණයකදී මේ රටේ ජයග්‍රහණය කරන ජනතා බලවේගය ගොඩ නගන්න සියළුම දෙනාට අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනය මේ හැමෝටම කරනවා. අපි හැමදාමත් මේ රටේ ජනතාව සමග දේශපාලනය කළ බලවේගයක්. අපිට මොන බලවේගය ආවත් අපි හැමදාමත් විශ්වාස කළේ මේ රටේ ජනතවයි. අපි විශ්වාස කළේ ඔබයි. ජනතාවක් විදියට ඔබට කුමන අභියෝග ආවත් ඔබත් අපව විශ්වාස කළා. 2015 අපි පරාජයට පත් වීමත් සමග බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් පක්ෂයේ නිර්මාතෘවරයා විදියට ගොඩ නගපු දේශපාලන පක්ෂය ඉතා කෙටි කලක් තුළ මේ රටේ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන පක්ෂයක් බවට පත් වුණා. ඒ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසයි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා උණ්ඩයෙන් අවියෙන් අරගලය මර්ධනය කරන්න ගියේ නැත්තේ ආණ්ඩුව වැටුණත් මේ රටේ රාජ්‍යය වැටෙන්න ඉඩ තියන්න බැරි නිසයි. අපි නිතරම විශ්වාස කරන දෙයක් තමයි ආණ්ඩු වැටුණත් ආණ්ඩු ගොඩ නගන්න පුළුවන්. රාජ්‍යයක් වැටුනොත් රාජ්‍යයක් ගොඩ නගන්න බෑ කියන කාරණය. ඒ නිසා අපි හැමෝටම යළි යළිත් ආරාධනා කරනවා එන්න අපි සමග එකතු වෙන්න. අපි සියළු දෙනා එකතුවෙලා මේ රට ගොඩ නගමු කියලා.

පාර්ලිමේන්තු මංත්‍රි චමල් රාජපක්ෂ මහතා.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ අපේ රටට අවශ්‍ය විදේශ විනිමය උපයන්න මහා දැවැන්ත ව්‍යාපෘති මේ රටේ ආරම්භ කරලා කොළඹ වරාය ගම්මානය, කොළඹ දකුණු වරාය, නැගෙනහිර වරාය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ආදී මේ දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කළා. ඒ වගේම හැම ගමකටම අවශ්‍ය ජලය විදුලිය ලබා දුන්නා වගේම මංමාවත් සංවර්ධනය කළා. අපි ඒ පටන්ගත්ත බොහෝ සංවර්ධන ව්‍යාපෘති දේශපාලනික හේතූන් මත අතරමග නැවතුණ ඒවත් තියෙනවා. අපේ රටේ ජාතික ප්‍රථිපත්තියක්, ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා දුක් විඳින්නේ අපේ ජනතාව. මේවට අපේ පක්ෂයටත් ලොකු වගකීමක් තියෙනවා අනාගතය බාර අරගෙන මේ රටේ දුක් විඳින ජනතාවට පහසුකම් සැලසිය හැකි සහන දිය හැකි ආර්ථිකමය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා. එහි වගකීම අද මේ ඉන්න තරුණ කැළට බාරවෙලා තියෙනවා. අපේ දේශපාලන පක්ෂයෙන් මේ හම්බන්තොටින් දේශපාන නායකයන් බිහි කලා වගේම තව සුවිශේෂී දෙයක් තියෙනවා කියන්න. අද විපක්ෂයේ ඉන්න විපක්ෂනායකතුමා අවුරුදු 25කටත් වැඩිය කාලයක් මේ හම්බන්තොට හිටියා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව බලයට අරගෙන අවුරුදු 07ක් විතර හිටියා. නමුත් ඒ පක්ෂ දෙකේ කාටවත්ම මේ හම්බන්තොට ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි වුණා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජානක තිස්සකුට්ටිආරච්චි, සංජය එදිරිමාන්න යන මහත්වරුද මෙම ජන හමුව ඇමැතූහ. පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, මුල්කිරිගල ආසන සංවිධායක කපිල දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මත්තල – දිලීප් එන්. ජයසේකර සහ තංගල්ල විශේෂ එස්. එඩ්වින්

advertistmentadvertistment
advertistmentadvertistment