අනුරාධපුර බන්ධනාගාරයේ රැඳෙවියකුට කිඹුල් ප්‍රහාරයක්

43

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු පෙරේදා (22දා) රාත්‍රී කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින් ඇද ගෙන යන අවස්ථාවේ දී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ, එළි මහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිළ ජාතික සිරකරුවෙකි. මෙම රඳවියා ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී, උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලෙකු මෙම සිරකරුගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇද ගෙන ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරියකු පැවසීය.

කිඹුල් ප්‍රහාරයට ලක්වූ එම රැඳවියාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර එම තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (23දා) උදෑසන ශෛල්‍ය කර්මයකට භාජනය කෙරිණි.

එම රැඳවියා මල් අතු ඔයේ දියේ නාමින් සිටිය දී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්වූ බවට ලැබුණු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් බන්ධනාගාර නිලධාරියකු එය ප්‍රතික්ෂේප කළ අතර එම සිර කඳවුරේ වගා කටයුතු කරමින් සිටිය දී ඊයේ රාත්‍රී එම කිඹුල් ප්‍රහාරය එල්ල වූ බව ද සඳහන් කළේය. ඊයේ (23දා) උදෑසන එම කිඹුල් ප්‍රහාර එල්ල වූ ස්ථානයට මාධ්‍යවේදීන් පිරිසක් යනවිටත්, විශාල ප්‍රමාණය කිඹුලකු මල්වතු ඔය තුළ ඒ මේ අත සැරි සරන අයුරු දැක ගැනීමට හැකි විය.

මල්වතු ඔයේ සිටින කිඹුලන් නිසා එම ඔය දෙපස සිටින තම ජීවිත ද ඉතා අනතුරේ ඇති බව ඔය දෙපස සිටින ජනතාව පවසති.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මේ වනවිට මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක් ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ද ජීවිතය අනතුරේ ඇති බව ඔවුහු අනාවරණය කළහ.

ප්‍රදේශවාසීහු වගකිවයුතු බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මල්වතු ඔයේ සිටින කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දමන ලෙසය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment