වරායෙන් කන්ටේනර් මුදාගන්න මහ බැංකුව දුන්නේ ඩොලර් ලක්‍ෂ 40යි – අපනයන සමාගම් ලංකාව මගහරිනවා –  අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය

203

කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව මුදාහැර ඇත්තේ ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතළිහක පමණ මුදලක් බවත්, මේ වනවිට බොහෝ අපනයන සමාගම් මෙරටට භාණ්ඩ ලබාදීම මඟහැරීමට පටන්ගෙන ඇති බවත් පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසයි.

ඒනිසා හෙට අනිද්දා වනවිට පරිප්පු, සීනි සහ සහල් ආනයන කටයුතු දැඩිලෙස පසුබෑමකට ලක්විය හැකි දැයි ද නිහාල් සෙනවිරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙරටට ගෙනා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් දහසකට වඩා තවමත් වරායේ සිර වී තිබෙන බවත්, ඉකුත් සති කිහිපයේ දී මහ බැංකුව ලබාදුන් ඩොලර් ලක්‍ෂ හතළිහක පමණ මුදලින් සිර වී තිබූ කන්ටේනර් එක්දහස් පන්සියයකින් සියයට තිහක් පමණ නිදහස් කරගත් බවත් ඒ මහතා කීය.

ඉන්දීය රජය හා ශ‍්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබෙන එකඟතා මත ඉන්දියාවේ සිට මෙරටට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගෙන ඒමේ ගැටලූ මතු වී නොතිබුණත් ඔස්ටේ‍්‍රලියාව, පකිස්තානය ඇතුළු අනෙකුත් රටවල් මෙරටට භාණ්ඩ ලබාදීමට යම්කිසි බියක් පළකිරීමට පටන්ගෙන ඇතැයි ද ඒ මහතා කීය. ඊට හේතුව මෙරටට එවනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වලට නිසි වේලාවට ණයවර ලිපි (එල්සී* නිකුත් කිරීමට නොහැකි වී තිබීම යැයි ද සෙනවිරත්න මහතා කීය.

කන්ටේනර් වරායේ සිරවීමට වෙන කිසිම හේතුවක් බලපා නැතැයි ද එකම හේතුව ඩොලර් නොමැතිකම යැයි ද ඒ මහතා අවධාරණය කළේය.

ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment