ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී, ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සූරිය ජයලත් පෙරේරා

Beauty of Sri Lanka – 2024 මෙවරත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී…

දිවයින – “Wildlife-eye” විශේෂාංගය වෙන්වන්නේ වනජීවී ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රවීණයන් සඳහා බව ඔබ දන්නා කරුණකි. එහිදී බොහෝ විට “Wildlife-eye” ඉඩකඩ හිමිකරගනු ලබන්නේ වන ජීවී ඡායාරූප ශිල්පීන් විසිනි. එවැනි ඡායාරූප ශිල්පීන් රැසක් සමග කතා බහ කර ඔවුන්ගේ ඡායාරූපකරණ තොරතුරු පිළිබඳව පසුගිය කාලයේ අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවෙමු. මෙවර අපගේ “Wildlife-eye” කතා බහ සිදුවන්නේද එවන් සුවිශේෂ චරිතයක් සමගය. නමුත් ඔහු මේ වනවිට පදිංචිව සිටින්නේ ශ්‍රී ලංකාවේ නොව, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිය. ලොස්ඇන්ජලීස් හි “යුනිෆයි ස්කූල් දිස්ත්‍රික්” රාජ්‍ය අධ්‍යාපන ආයතනයේ රාජකාරි කටයුතු කරන ඔහු නමින් සූරිය ජයලත් පෙරේරා ය.

එනමුත් සූරියගේ වනජීවී ඡායාරූපකරණයටත් වඩා අද අප කතා කරන්නට සැරසෙන්නේ ඔහු ඇතුළු කණ්ඩායමක් විසින් ලොස් ඇන්ජලීස් හි පවත්වාගෙන යනු ලබන America – Sri Lanka Photographic Art Society Los Angeles (ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය) සහ ඒ මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන “Beauty of Sri Lanka” වනජීවී සහ සංස්කෘතික ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳවත් මෙම සංගමය මගින් කොවිඩ් සමයේ සිට ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන එනු ලබන ශ්‍රී ලංකාවේ එක් එක් ක්ෂේත්‍රයේ වටිනාකම් පිළිබඳව සිදුකරන ලද Zoom Meeting සමූහය හා පරිසර සංරක්ෂණය සඳහා සංගමය සිදුකරනු ලබන සේවාව පිළිබඳවත්ය. කෙසේ වෙතත්, සූරිය ජයලත් පෙරේරාගේ වන ජීවී ඡායාරූපකරණය හා ඔහු විසින් සිදුකරන්නට යෙදුණු වන ජීවී රක්ෂිත ප්‍රදේශ ගවේෂණය හා ඔහු විසින් ඒ ඔස්සේ පළකරන්නට යෙදුණු අගනා Coffee Table පොතක් පිළිබඳව ද කතා කිරීම මෙවර අපගේ “Wildlife-eye” කතා බහේදී වැඩිමනත් සිදුකෙරේ.

අපේ වනජීවී හා පාරිසරික උරුමය අපි ලෝකයටම කියනවා
සූරියගේ පොතේ පිටපත ජනාධිපති රනිල්ට

සූරිය ජයලත් පෙරේරා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ව්‍යාපෘති නිලධාරියෙකි (Project officer). ඔහු එම දෙපාර්තමේන්තුවේ ගතකරන ලද කාලයේදී වන ජීවී ඡායාරූපකරණයට අත්පොත් තබන ලද අතර, ඔහු විසින් යාල ජාතික උද්‍යානය ඇසුරෙන් කරන ලද උපාධි නිබන්ධන පර්යේෂණයක් ඇසුරෙන් ඔහුගේ පළමු වන ජීවී ඡායාරූපකරණ ප්‍රදර්ශනය 2005 වසරේදී කොළඹ ‘ලයනල් වෙන්ඩ්ට්’ කලාගාරයේදී පවත්වන ලදි.

අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරට යන සූරිය රැකියාවක ද නිරතවෙමින් එහිදී America – Sri Lanka Photographic Art Society Los Angeles (ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය) පිහිටුවා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පාරිසරික, වන ජීවී සහ සංස්කෘතික උරුමය ඇමෙරිකාවේ ජනයාට කියාදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා පුරෝගාමී මෙහෙවරකට පියවර තබයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ අති දක්ෂ වන ජීවී ඡායාරූප ශිල්පීන් 10 දෙනා බැගින් වාර්ෂිකව තෝරාගෙන ඔවුන්ගේ ඡායාරූප ඇසුරෙන් ලොස්ඇන්ජලීස් හි කැලිෆෝනියා UCLA – (UCLA – (University of California Los Angelese) විශ්ව විද්‍යාලයේදී ඉහත කී පරිදි වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය “Beauty of Sri Lanka” නමින් පවත්වාගෙන එනු ලබන්නේය. මේ වනවිට මෙවන් ප්‍රදර්ශන 3 ක් කැලිෆෝනියාහිදී පවත්වා ඇති අතර, කොවිඩ් වසංගත තත්ත්වය නිසා මදක් පසුබෑමට ලක්වූ මෙම වාර්ෂික වැඩසටහන 2023 වසරේදී නැවත සක්‍රීය කරමින් 2024 වසර සඳහා ද සූරිය සහ ඔහුගේ සංගමය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. සූරිය ජයලත් පෙරේරා සමග අප කතාබහක යෙදෙන්නේ මෙවන් පසුබිමක් තුළය. එනම්, එළැඹෙන අප්‍රේල් මස 20-21 දෙදින ලොස්ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේදී ප්‍රදර්ශනය පැවැත්වීමට අදාළ කටයුතු දැන් සිදුවෙමින් පවතී.

අපේ වනජීවී හා පාරිසරික උරුමය අපි ලෝකයටම කියනවා
මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුළු ආරාධිතයන්

සූරිය ජයලත් පෙරේරා කැලණිය ප්‍රදේශයේ උපත ලද්දෙක් වන අතර, ඔහු අධ්‍යාපනය ලබන්නේ කැලණිය ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සූරිය ජයලත් උපාධිධාරියකු ලෙස ගුරු සේවයට ඇතුළත් වන අතර, කලක් කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ගුරුවරයකු ලෙස ඔහු සේවය කළේය. වන ජීවී ව්‍යාපෘති නිලධාරියකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවය. රාජකාරි කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක කටයුතු කරන ඔහු, වන ජීවී ඡායාරූපකරණයෙන් මෙන්ම, වන ජීවී ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින්ද ඉගෙන ගත් දෑ බොහෝය. එම කාලයේදීම ශාස්ත්‍රපති උපාධිය හදාරන ඔහු තම පර්යේෂණ නිබන්ධනය සඳහා තෝරාගන්නේ ද වන ජීවී විෂයට අදාළව යාල ජාතික උද්‍යානය පිළිබඳවය. ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරට පැමිණීමෙන් පසුද එම කටයුතු අමතක නොකරන ඔහු රටේ පාරිසරික, වන ජීවී හා සංස්කෘතික උරුමය අමතක නොකර ඔහුගේ පුරෝගාමිත්වයෙන් America – Sri Lanka Photographic Art Society Los Angeles (ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය) ආරම්භ කරන්නේය. ඒ සඳහා ලොස්ඇන්ජලීස් හි පදිංචි සංජය වර්ණසූරිය, ශාන්ත වීරසිංහ, ඇන්ඩි සමරසිංහ, මෙධති රත්නායක, නදීෂා හුලංගමුව, සඳලි සුලෝචනා යන අයගේද සහභාගිත්වයෙනි. මේ සඳහා තමන්ට සවියක්ව උපදේශකත්වය ලබාදෙන ලොස්ඇන්ජලීස් කොන්සල් ජනරාල් වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නන්දසිරි ජසෙන්තුලියන මහත්වරු පිළිබඳවද සූරිය සිහිපත් කරයි. බිරිඳ නදීෂා හුලංගමුව, මෙතු පෙරේරා සහ දහම් පෙරේරා පුතුන්ද, රශ්මි පෙරේරා දියණිය ද මේ කටයුතු සඳහා තමන්ට ශක්තියක් බව ඔහු කියයි.

රජයේ රැකියාවක නියුතු වුවත් සංගමය පිහිටුවා පූර්ණකාලීනව එම කටයුතුද සිදුකරන සූරිය, සංගමයේ සාමාජිකයින් හා එක්ව ශ්‍රී ලංකාව ඔසවා තබන “Beauty of Sri Lanka” ප්‍රචාරාත්මක කටයුත්ත ආරම්භ කර, ඊට උරදෙමින් එම කටයුතු සිදුකිරීම සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන්නේ අනුපමේය සේවයකි.

විටෙක කොවිඩ් උවදුරෙන් ඇමෙරිකාව සහ ලොස්ඇන්ජලීස් නුවර ඇතුළුව ලෝකයම බැටකන මොහොතක ලෝක ජෛව විවිධත්ව දිනය, මිහිතල දිනය, ලෝක වන ජීවී දිනය ඇතුළු සැමරුම් දින සහ සැමරුම් වැඩසටහන් වෙනුවෙන් අදාළ විෂය ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ඇතුළු ලෝක මට්ටමේ ප්‍රාමාණික විද්වතුන් යොදාගෙන සිදුකරන ලද Zoom වැඩසටහන් මාලාව ඔහු ඇතුළු සංගමයේ අතිශය ආකර්ෂණයක් හා නමක් දිනාගත් කටයුත්තකි. මෙසේ සංගමය මගින් සිදුකරන ලද වැඩසටහන් ප්‍රමාණය 43 ඉක්මවන ලද අතර, ඊට සම්බන්ධ වූ විද්වතුන් සංඛ්‍යාව 25 ඉක්මවයි. ඒ සියල්ල මගින්ම ශ්‍රී ලංකාවේ පාරිසරික, වන ජීවී හා සංස්කෘතික උරුමය ද කතා කරන්නට අමතක නොකිරීම මෙම වැඩසටහන් මාලාවේ වැදගත්කම වේ. විටෙක ලෝක මිහිතල දිනය වෙනුවෙන් පවත්වන්නට යෙදුණු Zoom වැඩසටහන් වෙන්වූයේ ශ්‍රී ලංකාවේ පාසල් සිසු දරුවන් සමග එක්වූ ලෝකයේ තවත් පාසල් දරුවන් සමගය. මේ නිසා සැඟවුණු දක්ෂතා සහිත ශ්‍රී ලාංකික දරුවන්ට ලෝක මට්ටමේ දරුවන් හා කරට කර සම්බන්ධවෙමින් පරිසරය, ලෝකය සංරක්ෂණය සඳහා නව කතිකාවක් ගොඩනඟාගන්නට සූරිය මැදිහත් වූ මෙම Zoom වැඩසටහන් අමිල මෙහෙයක් ඉටුකරන ලද බව මෙහිලා සටහන් කළ යුතුය.

සූරිය ජයලත් මෙහෙයවන කුරුල්ලන් නැරඹීමේ සහ පරිසරය විඳීමේ වැඩසටහන් කිහිපයක්ම සංගමය මගින් ඇමෙරිකාවේදී ක්‍රියාවට නංවනු ලබයි. මෙම කටයුත්තෙන් බැහැරව සංගමය මගින් සිදුකරනු ලබන ප්‍රධානතම කටයුත්ත වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනයයි. 2018 වසරේදී පළමුව සූරිය ජයලත් පෙරේරාගේ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් ලෙස පවත්වන ලද පළමු ප්‍රදර්ශනය සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ ඉතා ප්‍රකට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී (UCLA) පවත්වන ලදි. අනතුරුව 2019 වසරේ දෙවැනි “Beauty of Sri Lanka” ප්‍රදර්ශනය පවත්වන ලද්දේ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් 10 දෙනකුගේ ද සහභාගීත්වයෙනි. තෙවැනි ප්‍රදර්ශනය පවත්වන්නේ 2023 වසරේදීය. ඒ සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් 10 දෙනකු සහභාගි වූ අතර එවන් තවත් අදියරක් ආරම්භ කරමින් 2024 වසරේදී 4 වැනි “Beauty of Sri Lanka” ප්‍රදර්ශනය ලොස්ඇන්ජලීස් හිදී ආරම්භ කිරීමට මේවන විට ලහි ලහියේ සූදානම් වෙමින් පවතී.

අපේ වනජීවී හා පාරිසරික උරුමය අපි ලෝකයටම කියනවා

එසේම, පසුගිය 2013 වසරේදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු ප්‍රදර්ශනයට සමගාමීව සූරිය ජයලත් පෙරේරා විසින් යාල ජාතික උද්‍යානය ඇසුරෙන් සම්පාදිත “KINGDOM OF RUHUNA – Home of the Ruhunu (Yala) National Park නමැති ග්‍රන්ථය ද ජනගත කරන ලද අතර එම ග්‍රන්ථය ඇමෙරිකානුවන් අතර මෙන්ම ශ්‍රී ලාංකිකයින් අතර ද මහත් ජනප්‍රියතාවක් ලබාගෙන ඇත. ඔහු මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ශාස්ත්‍රීය නිබන්ධනයක් ලෙසිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා ඇමෙරිකාවේ සංචාරය කරන ලද අවස්ථාවේදී එතුමන්ට ද මෙහි පිටපතක් පිළිගන්වන්නට සූරිය කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මියට ද ඉකුත්දා මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදුකෙරිණි.

මේ අනුව එක් අතකින් වන ජීවී ඡායාරූප ශිල්පියකු, පර්යේෂක ලේඛකයකු, ග්‍රන්ථ සම්පාදකවරයකු ලෙස හා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නන්වන්නකු ලෙස සූරිය ජයලත් පෙරේරා සහ America – Sri Lanka Photographic Art Society Los Angeles) අතින් සිදුකෙරෙන මෙහෙය විශාල වූවකි.

සටහන –
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment