අලි ලොකු වැඩක් කළත් බංගලි – පළමු ගැටුමෙන් නූලෙන් පරදියි

461

බංග්ලාදේශය වෙනුවෙන් සිය හතරවන පන්දු වාර 20-20 තරගය සඳහා ක්‍රීඩා කළ ජාකර් අලී තම රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැදුවද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු තුනක තියුණු ජයග්‍රහණයක් අත් විය.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශයට ලකුණු 12 ක් අවශ්‍ය වූ අතර එම පන්දු වාරය ක්‍රියාත්මක කළ දසුන් ශානක ලකුණු 8 ක් පමණක් ලබා දෙමින් ජැකර් අලී ගේ කඩුල්ලද ඇතුළුව කඩුලු‍ දෙකක් දවා ගෙන ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ආවේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් යුත් පන්දු වාර 20-20 තරගාවලියේ ඊයේ පැවති පළමු තරඟයේදී ශ්‍රී ලංකාව ඒඅනුව ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලැබුවේය.

බංගල්දේශ කණ්ඩායමේ කඩුලු‍ පහක් ලකුණු එකසිය පහළොවකට දැවී තිබියදී ජැකර් අලී සහ මහේදී හසන් දෙදෙනා අතර හයවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩ නැඟිණි.

ජැකර් අලී පන්දු 34 කදී හතරේ පහර හතරක් සහ හයේ හයක් සමග ලකුණු 68 ක් ලැබුවේය.

මහමුදුල්ලා ද වේගවත් පිතිහරඹයක නිරත වූ අතර ඔහු පන්දු 31 කදී ලකුණු 54 ක් ලැබුවේය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශාන්ටෝ පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග තරග දෙකක තහනමකට ලක්ව සිටීම හේතුවෙන් චරිත් අසලංක මෙමතරගයේදී ශ්‍රී ලංකා නායකත්වය දැරීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු‍ 3ක් දැවී ලකුණු 206 රැස්කිරීමට සමත් වූ අතර බංග්ලාදේශය පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු‍ 8 ක් දැවී ලකුණු 203 ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක හා සධීර සමරවික්‍රම 04වැනි කඩුල්ලට පන්දු 33කින් ලකුණු 73ක වේගවත් නොබිදුණු සබඳතාව‍‍‍‍‍යක් ගොඩ නැගූහ. සධීර සමරවික්‍රම පන්දු 48කින් නොදැවී ලකුණු 61ක් රැස්කරගෙන සිටි අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වූයේය. පිටියට පිවිසි මොහොතේ පටන් අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩා කළ නායක චරිත් අසලංක හයේ පහර 06ක් සමගින් ලකුණු 44ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 21කට පමණි.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 13 වැනි ජාත්‍යන්තර විස්සයි20 අර්ධ ශතකය වාර්තා කිරිමට මෙම තරගයේදී සමත් වූ අතර පන්දු 27කින් සිය අර්ධ ශතකය වාර්තා කළ මෙන්ඩිස් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමග ලකුණු 59 ක් ලැබීය.

කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා පන්දු පන්දු 25කින් ලකුණු 33ක් රැස් කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් දැවී ගිය අතර තරගයේ දෙවැනි පන්දුවෙන්ම අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 206/3(20)

අවිශ්ක ප්‍රනාන්දු 04, කුසල් මෙන්ඩිස් 59 කමිඳු මෙන්ඩිස් 19, සධීර සමරවික්‍රම නොදැවී 61, චරිත් අසලංක නොදැවී 44

පන්දු යැවීම (කඩුලු‍ ලාභීන්)

ටස්කින් අහමඩ් 4-40-1, රිෂාඩ් හොසේන් 4-32-1, ෂොරිෆුල් ඉස්ලාම් 4-47-1

බංග්ලාදේශය 203/8(20)

ලිටන් දාස් 00 , 2 නජ්මුල් හොසේන් ෂැන්ටෝ 20, 3 සෞම්‍ය සර්කාර් 12, තව්හිත් රිදෝයි 08, මහමුදුල්ලා 54, මහේදි හසන් 16, ජේකර් අලි 68, ටස්කින් අහමඩ් නොදැවී 02, රිෂාඩ් හොසේන් 00, ෂොරිෆුල් ඉස්ලාම් නොදැවී 04

පන්දු යැවීම (කඩුලු‍ ලාභීන්)

ඇන්ජලෝ මැතිව්ස් 3-17-2 , දසුන් ශානක 3-36- 2, මහීෂ් තීක්ෂණ 4-32-1, බිනුර ප්‍රනාන්දු 4-41-2 මතීෂ පතිරණ 4-56-1

advertistmentadvertistment
advertistmentadvertistment