අවදානම් ප්‍රතිත්‍රස්ත පනත වීසිකර අලුත් දේශපාලන ගමනකට සූදානම් නොවුවහොත්…!

360

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් කියවුනු හා ඇසුණු සියල්ල තුළින් පොදුවේ පිළිගත හැකි එක් කරුණක්ද විය. ඒ මෙවර ජනතාව විසින් අවුරුද්ද සමරන ලද්දේ වසර තුනක් වැනි දීර්ඝ කලකට පසුව හා අමිහිරි අත්දැකීම් යම් ප්‍රමාණයකට හෝ සමනය වූ පසුබිමක් තුළ බවය. එජාප සභාපති වජිර අබේවර්ධන මේ අවුරුදු ආශ්වාදය ජනතාවට හිමි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව ජනමාධ්‍යවලට ද පවසා තිබුණි. ජනාධිපති රනිල්ට ඒ ගෞරවය මුළුමනින්ම නැතත් එහි විශාල කොටස හිමි විය යුතු බව අපගේ ද පිළිගැනීම වේ. එහෙත් ඒ අවුරුදු සතුට සම්බන්ධ ප්‍රමුඛ සාධකය වූයේ ආර්ථික තත්ත්වය බවද කිව යුතුය. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම ලෙස ජ්‍යොතිෂයන් විසින් හඳුන්වනු ලබන අවුරුද්ද පිළිබඳ අපට විවාදයක් නැත. එහෙත් ඇති හැකි අයගේ නිවෙස්වල මේස රාශියක තිබෙන අවුරුදු විචිත්‍රත්වය හා සාර්ථකත්වය ගම් දොර පමණක් නොව නගරවල වුවද සාමාන්‍ය නිවෙස්වල මේස වලින් දැකගත නොහැකි වූ බවද සඳහන් කළ යුතුය. ආගමික හා සංස්කෘතික වසයෙන් ඒ ඒ ජනකොටස් සිය ජීවිත හා බැඳුණු උත්කර්ෂවත් නිමේෂයක සතුට මෙන්ම කඳුළ ද බෙදා හදා ගන්නා බව අවුරුද්ද දේශපාලනිකව දකින අයට වටහා ගැනීම ද අසීරු නැත. එනිසා අලුත් අවුරුදු පැතුම් ලෙස රාජ්‍ය නායකයන් හා විවිධ දේශපාලනඥයන් පමණක් නොව අපේ මහනාහිමිවරුන් හා අන්‍යාගමික නායකයන් විසින් ද ජනතාවට ලබා දෙන පොරොන්දු, ප්‍රාර්ථනා ආදියත් නිසි පරිදි යථාර්ථයක් වන්නේ නම් අවුරුද්දෙන් පටන් ගන්නා රටේ අලුත් ගමන ද වාසනාවන්ත එකක් වනු නොඅනුමානය.

අවදානම් ප්‍රතිත්‍රස්ත පනත වීසිකර අලුත් දේශපාලන ගමනකට සූදානම් නොවුවහොත්…!

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණය ක්‍රියාකාරකම් තුළින් ජනතාව අපේක්‍ෂා කරනු ලබන සාධනීය ප්‍රතිඵල සියල්ල ඉටුවෙතැයි අපේක්‍ෂා කළ නොහැකි වුවද විශේෂයෙන් ආර්ථිකය හා දේශපාලන ක්‍ෂේත්‍රවලට අදාළව කෙරෙන ක්‍රියාන්විත කෙබඳු දැයි බහුතර ජනතාවක්ම බලා සිටිති. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහට අනුව මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව අපේ ආර්ථිකයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටියි. ජපානය, ඉන්දියාව මෙන්ම පැරිස් සමාජය විසින් ඒ ආර්ථික ප්‍රවර්ධනයට අනුබල ලබා දෙන බවද ඔහුගේ ප්‍රකාශය මගින් තහවුරු කර ඇත. එසේම බංගලාදේශය ද එරටින් ලංකාව ලබාගත් ණය ආපසු ගෙවීමේ සහන කාලය දීර්ඝ කර ඇති බවද වාර්තා වී තිබේ. පසුගිය දිනවල ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවති සමුළුවකදී ජපානය යළිත් මෙරටේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානම් බවද ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනය රඳා පවතින්නේ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහය මත බව මේවායින් පැහැදිලි වනු ඇත. එහෙත් අපේ සකල විධ ආර්ථික සිහින එබඳු ජාත්‍යන්තර ශක්තියක් මත පදනම්ව ගොනු කර තිබීමද දේශපාලන අංශවල විවේචනයට හේතු වී තිබේ. මෙහිදී අපට සිහිපත් වන්නේ ආර්ථිකය දෙස දේශපාලන වසයෙන් පමණක් නොව ආර්ථික ඇසින් බලන විද්වතුන්ගේ අදහස්ය. බොහෝවිට ආර්ථිකය සම්බන්ධයෙන් පාලකයන්ගෙන් කෙරෙන අතිශයෝක්ති සහගත විග්‍රහ ඒකපාක්ෂිකව සිදුවේ. ආචාර්ය හර්ෂ (ස.ජ.බ.) මෙම අනුග්‍රහය හඳුන්වන්නේ ළිඳට වැටුණු කෙනෙකුට ඉන් ගොඩට ඒම සඳහා ලබා දෙන ලද ලණුවක් නොහොත් කඹයක් ලෙසය. කඹය අල්ලාගෙන ගොඩවීමට හැකි වුවත් ඉන්පසු අනුගමනය කරන ක්‍රියාදාමය සාධනීය හා ප්‍රායෝගික එකක් නොවුවහොත් සිදුවිය හැක්කේ ගොඩට ආ කඹයේ ම එල්ලී දිවි නසාගැනීමට නොවේද යන අවධාරණයත් හර්ෂ කර තිබෙන බව අපගේ අදහසය.

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ණය යොදාගෙන වුවද හිස එසවීමට නොහැකි වූ ග්‍රීසිය ගැන මෙන්ම ඒ ණය නිසි පරිදි කළමනාකරණය කොට ජයගත් අයර්ලන්තය, සර්බියාව, ඝානාව වැනි රටවල් ද තිබේ. එසේම ආර්ථිකය එහෙම පිටින්ම කඩාවැටී, බංකොළොත් බවද ප්‍රකාශයට පත් කළ රටවල කිසියම් දේශපාලන හා ජාතික එකඟතාවන්ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මේ දේශපාලන එකඟතාව හුදු ඇමැති පදවි හෝ වෙනත් ප්‍රතිලාභ මත පදනම් වූ ඒවා නොවිය යුතුය. එහෙත් අපේ රටේ තිබෙන වරප්‍රසාද මත දෝලනය වන දේශපාලන සූදුව හා ළාමක පිල් මාරුව අනුව එබඳු ජාතික සම්මුතියකට ඒමට ඉඩක් නැත. දැන් සෑහෙන කාලයක සිටම ඇමැතිකම්වලට ගෙල දිගු කරගෙන රටම හිනස්සවන දේශපාලන චරිත ගැන අමුතුවෙන් කතා කළ යුතුද නැත.

ජනාධිපති රනිල් ද මේ මුග්ධ දේශපාලන හැසිරීම් ඉඳුරා දනී. දින කීපයකට පෙර පොහොට්ටුවේ ප්‍රබලයකු පවසා තිබුණේ ද තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැති ධුර හිමි විය යුතු බවය. තවත් පුවත්පතක සඳහන් වූයේ රාජිතට (ස.ජ.බ.) ඇමැතිකමක් දෙන්නේ නම් රෝහිතටත් (පොහොට්ටුවේ) ඇමැතිකමක් ලැබිය යුතුම බවය. ඇත්තටම මේ ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන හපන්කම් ගැන ජනතාව දනිති. ඒ නැතත් මේ අසීරු මොහොතක පුද්ගලයන් පිනවීමට වරදාන දීමෙන් ආණ්ඩුවේ ගමනට ලැබෙන සහාය කුමක්ද? ඇත්ත වසයෙන්ම ජනාධිපති රනිල්ට ආර්ථිකය ගොඩගැනීම සඳහා ශක්තිමත් කණ්ඩායමක් අද මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන්ගෙන් සකසාගත හැකිද? ගෝඨාභය සමග රට වැනසූ, ජනතා විරෝධයට ලක්වූ සමහරුන් යළිත් ඇමැති පුටුවලට නිලබලවලට පත් කරගෙන යා හැකි ගමන කුමක්ද? බොහෝ දේශපාලන විචාරකයන් හා විද්වතුන් විසින් ද පුන පුනා පවසා ඇත්තේ දේශපාලන වසයෙන් රටම වැනසූ අධම හා වසල චරිත යළිත් සමස්ත දේශපාලනයෙන්ම ඉවත් කළ යුතු බවය. ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයෙහි මූලික අපේක්‍ෂාව වූයේ ද එයයි. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? ඒ ජරපත් දූෂිත, අසංස්කෘතික දේශපාලනයම වළෙන් ගොඩ ගැනීමක් නොවේද? එක්කෝ මහා මැතිවරණයකින් රටේ ජනමතය විමසා බැලීමට ඉඩක් දිය යුතුය. නොඑසේ නම් දේශපාලන ප්‍රතිසංස්කරණයක් ද ආර්ථිකයකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් ආණ්ඩුව සූදානම් වන්නේ කුමක් සඳහා ද?

ආණ්ඩුවේ අලුත් දේශපාලන අභිලාෂය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් පිළිබඳ කෙරෙන සමාජ ඇඟවීම් හා ආමන්ත්‍රණ අතිශය විවාදාත්මක බව අපගේ ද අදහසය. ආණ්ඩුව අවුරුදු තෑග්ග ලෙස සූදානම් කළ ප්‍රතිත්‍රස්ත පනත මෙම අප්‍රේල් මාසය නිමවීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මෙයට පෙර ද සවිස්තරව කරුණු දක්වා ඇත. එසේම ඒ පිළිබඳ සමාජ දේශපාලන අංශවල ප්‍රතිචාර හා ජාත්‍යන්තර නිරීක්‍ෂණ ආදිය ද උපුටා දැක්වීමු. එහෙත් තවමත් ආණ්ඩුව ඒ විවිධ සංවාද විවේචන ගැන සංවේදී වන බවක් ද නොපෙනේ. ආණ්ඩුවේ ප්‍රබලයන් තවමත් පවසන්නේ මෙම පනත ජාත්‍යන්තරව සකසා තිබෙන එබඳු පනත්වලට වඩා අමුත්තක් නොමැති එකක් බවය. ඇත්ත වසයෙන්ම මෙරටේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සම්මත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික පනත (1979) භාවිත කරමින් රටේ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි වූ බව කව්රුත් දන්නා ප්‍රසිද්ධ කරුණකි. මේ වන විටත් අතිශය ආන්දෝලනයකට තුඩුදී තිබෙන පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ එම පනතින් වළක්වා ගැනීමට නොහැකි විය. ඒ අනුව පැහැදිලි වන්නේ රටක ත්‍රස්තවාදය මැඬලීමට අමුතු විශේෂ නීති අවශ්‍ය නොවන බවය. මෙයට පෙර ඒ සම්බන්ධයෙන් නිදසුන් සහිතව සාකච්ඡා කර ඇත. එනිසා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත වෙනුවෙන් දක්වන හේතු පදනම් විරහිත බව යළිත් පවසමු. එසේම මෙම 21 වැනිදා එයට විරෝධය දැක්වීම සඳහා ජන පවුරක් සකසන බවද මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශයට පත්කර තිබේ.

අද මෙරටේ රාජ්‍ය භාරකාරත්වය හිමිව ඇත්තේ ජනතාව විසින් තෝරා ගන්නා ලද ජනාධිපතිවරයකුට නොව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් තෝරාගත් ජනාධිපතිවරයකුටය. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභයගේ ධුර කාලයෙහි ඉතිරි වසර දෙකකට නොඅඩු කාලසීමාව සඳහා නිත්‍යානුකූලව පත්ව සිටියි. ඔහු රටට ඉදිරිපත් කළ සමාජ ආර්ථික දේශපාලන පොරොන්දු ඇතුළත් මැතිවරණ ප්‍රකාශයක්ද නැත. එහෙත් ඔහුට පාර්ලිමේන්තුව මගින් හා විධායකට හිමිව තිබෙන බලතල අනුව සිය පාලන කටයුතු ගෙනයා හැකිය. ඔහුගේ ආර්ථික සැලසුම් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද ඔහු අවධාරණය කර තිබේ. එය ඉතා නිවැරදිය. එසේ වුවද ඔහුගේ ඇතැම් දේශපාලන ප්‍රතිචාර මතභේදයට තුඩුදී තිබේ. පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඒවා අතර දැඩි විවේචනවලට පාත්‍ර වූවකි. ස්වාධීන මැතිවරණ කොමිසන් සම්බන්ධයෙන් වූ ඔහුගේ ක්‍රියාකාරකම් ද විවාදාත්මකය. ජනාධිපති රනිල් අද ක්‍රියා කරන්නේ මෙරටේ පළමු ජනාධිපතිවරයාව සිටි ජයවර්ධන එදා කටයුතු කළ අත්තනෝමතික ස්වරූපයෙන් බවට විවෘත චෝදනාවක් තිබේ. ඔහු ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය නොතකා ඒකාධිපතියකු ලෙස ක්‍රියාකරන බවද කියති.

ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තිබෙන විවේචනය වන්නේ ද එමගින් ඔහු මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී සිතියම හකුළා දමමින් විධායකයේ අණසකට සියලු ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් යටපත් කිරීමට සැරසෙන බවය. විධායක බලය සීමා කිරීම සඳහා කැපවූ ජනාධිපති රනිල් අද ඒ ඒකාධිපති බලය සුපෝෂණය කිරීම සඳහා නීතිමය රැකවරණ සොයමින් සිටින බවය. වරක් ජනාධිපති කාර්යාලයේ පැවති දේශපාලන පක්‍ෂ හමුවකදී ජනාධිපති රනිල් සිය ජනවරම ප්‍රශ්න කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගට දැක්වූ ප්‍රතිචාරය අපට මතකය. එදා ගෙවිඳු වෙනුවෙන් කතා කිරීමට පොහොට්ටුවේ බලධාරීහු ද උනන්දු නොවූහ. ඔවුන්ට සිය දේශපාලන ගනුදෙනු බේරාගත යුත්තේ ද ජනාධිපති රනිල්ගේ අනුග්‍රහය මත පදනම්ව බව ඔව්හු ඉඳුරා දනිති. එහෙත් පොහොට්ටුවේ ලේකම්වරයා ඇතැම් අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ වෙනුවෙන් තම පක්‍ෂය පෙනී සිටින බවට ගාම්භීර ප්‍රකාශ ද කරයි. එහෙත් ඔහුගේ හා ඒ පක්‍ෂයේ සමහරුන්ගේ විහිලු වලට අපට සිනාසීමට බැරිය.

රටේ මහජන ආරක්‍ෂාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හා මානව අයිතීන් සුරැකීම සඳහා අවංකව හා සද්භාවයෙන් පෙනී සිටින ආණ්ඩුවක්, සිවිල් සංවිධාන හෝ එබඳු පිරිස් සමග පෙළට සිටීමට අපි කිසිවිටෙක නොපැකිලෙන්නෙමු. මේ පනත සම්බන්ධයෙන් අපට එබඳු එකඟතාවක් පළ කළ නොහැක. බොහෝ දෙනා විවේචනය කළ පරිදිම මෙම ප්‍රතිත්‍රස්ත පනත මේ පාලකයන්ගේ හා එයට ආවඩන අයගේ ගුප්ත හා දුෂ්ට අරමුණු ක්‍ෂාත් ක්‍ෂාත් කර ගැනීමට අටවනු ලබන දේශපාලන කෙමනකි. නුදුරු අනාගතයේදීම මෙයට අත ඔසවන අය වුවද අනේ අපට ආයෙමත් වැරදුනා යැයි පැවසීමට ද ඕනෑතරම් ඉඩ ඇත. මෙරටේ පුරවැසියන් මීගවයන් ලෙස කෙවිටකින් ආම්බාම් කළ හැකි පිරිසක් නොවන බව ආණ්ඩුවද දනී. එනිසා ඒ ජනහඬ මැඬලීම හා මාධ්‍ය පාලනය වැනි ක්‍රියාවන්ට මෙම පනතේ “ත්‍රස්තවාදී නිර්වචනය මගින් අවකාශ සලසා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබීම අපට තේරුම් ගත හැකිය. එසේම මෙම ප්‍රතිත්‍රස්ත පනත නීතිය හා බලය දැනටමත් අවභාවිත කරන පොලිසියේ සමහරුන්ට දෙන බිහිසුණු අවියක් වනු කවුරු වළක්වත්ද? දේශපාලන පාදඩයන්ට ද අමන ජාවාරම් කරමින් කාසි කඳු ගසන වසලයන්ට ද එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පොලිස්පතිවරයා ද දනී. පොලිසිය නීතිය නවන හැටි දේශපාලන තක්කඩිහුද දනිති. ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට බඩල්ගම ප්‍රදේශයේදී සිදුවූ නොහොබිනාකම් වලට චෝදනා නැගෙන තකතීරු ඇමැත්තා හෝ රාජ්‍ය ඇමැත්තා ළඟ පොලිසිය පූස් පැටව් බවට පත්වන බවට කතු වැකිම තුන හතරක්ම ලියැවිණි. පාස්පෝට් මගඩියකට චෝදනා ලැබ සිටින දේශපාලන බලවතියක් සම්බන්ධයෙන් රහස් පොලිසියට එල්ල වී තිබෙන විවේචන ද සුළුපටු නැත. එහෙව් පොලිසියක් ගැන සහතිකයක් දිය හැක්කේ එජාපයේම රංගෙ බණ්ඩාර වැනි චරිතයකට පමණි. රටට ආදරය කරන මාධ්‍යකරුවන්ට සවන් දෙන මහත්වරු ස්වල්ප දෙනෙක් හෝ පොලිසියේ ද සිටිති. එහෙත් දේශපාලන වසුරු නොබුදින ඒ නීතිගරුක පොලිස් ඇත්තෝ ද බොහෝ විට අසරණ වන්නෝද වෙති.

මේ අතර අලුත් අවුරුද්ද ආරම්භ කළ ආණ්ඩුව විසින් ගනු ලබන දේශපාලන පියවරක් සම්බන්ධයෙන් ද වාර්තා වී තිබේ. ඒ මෙරටේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ නිල බල ඉසිලූ හා තවමත් උසුලනු ලබන 420ක් පමණ කෝප් කමිටුව අබියසට කැඳවා ප්‍රශ්න කිරීමට සූදානම් බව සඳහන් පුවතකි. එය ඉතා අගනා පියවරක් වුවත් එම කමිටුවේදී අනාවරණය වන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුවට ගත හැකි නීතිමය පියවරක් නොතිබීම නිසා ඒ කටයුතු හුදු මාධ්‍ය සංදර්ශනයකට සීමාවනු ඇත. ජාතික සම්පත් වැනසූ චෞරයන්ගේ වස්ත්‍ර ගැලවී ගියත් ඔවුන්ට යළිත් සුවසේ වැජඹීමට බාධාවක්ද නැත. එනිසා කෝප් කමිටුවට නීතිමය මෙන්ම චූදිතයන්ට දඬුවම් ලබා දීමට යොමු කෙරෙන අභිනව නීති පද්ධතියක්ද අවශ්‍ය වේ. කෝප් සභාපති ධුරය හොබවන මහාචාර්ය රංජිත් බණ්ඩාරට ඒ කාර්ය ඉටුකර ගත හැකි වුවහොත් ඔහු වීරයකු ලෙස ඉතිහාසයට ද එක්වනු නියතය.

ඇත්ත වසයෙන්ම රටක ජනතාවට වුවමනා “ප්‍රතිත්‍රස්ත පනත්” වැනි දේශපාලන ගුණ්ඩු නොව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියකට රට යොමුකරවීමය. හැත්තෑ පස් වසරක වසල දේශපාලනය හා බැඳුණු නිලබල ක්‍රමය ද අහෝසි කර දූෂිතයන්ට දඬුවම් දෙන අලුත් නීති සම්පාදනයක් අද රටම ඉල්ලා සිටියි. ඇමැති විජයදාස රාජපක්‍ෂ කීප වරක්ම ප්‍රකාශ කර ඇත්තේ ද ආසියාවේ ප්‍රබලම දූෂණ විරෝධී පනත සම්මත කිරීම ආණ්ඩුවේ අපේක්‍ෂාව බවය. අල්ලස් හා දූෂණ විරෝධී ආයතනයක් තිබුණත් එයින් රටත් ජාතික සම්පත් හා පොදු දේපලත් වැනසූ කීදෙනෙක් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදී තිබේ දැයි අපි නොදනිමු. අදටත් විවිධ දූෂණ හොරකම් ආදිය ගැන හෙළිදරව් කිරීම් සිදුවේ. එහෙත් නීතිය නිහඬය. ගම්බිම් වනසන, වනාන්තර පාළු කරන දේශපාලන බලය අතට ගත් පිරිස් කොපමණ සිටිත්ද? මිලියන ගණන් වැය කර ඇරඹූ ඇතැම් ව්‍යාපෘතිවලට යට කළ මහා ධනස්කන්ද කෝටි ප්‍රකෝටි වලින් ගණනය කළ හැකිය. එහෙත් තවමත් අපට යහපත් දේශයක් පිළිබඳ බොරු පුරසාරම් විනා අර්ථවත් සමාජ ආර්ථික දේශපාලනයක් පිළිබඳව බලාපොරොත්තු තබාගත හැකිද යන්න ප්‍රශ්නයකි. එහෙත් අපි බලා සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment