මේ මාසයේ වැඩිපුර පැණිරස ආහාර වර්ග කෑමට සිදුවෙන නිසා ලබන මාසයේ එම කෑම වර්ග ගැනීම පාලනය කරනවා යැයි සිතමින් සීනි සහිත ආහාර පාලනයට යොමුවන දියවැඩියා රෝගීන් උත්සව සමයේදී බහුලවම දැකිය හැකිය. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීමට යොමුවන පිරිස ද වැඩිය.

මෙලෙස යොමුවන පිරිස අතර මැදිවියේ පසුවන දියවැඩියාව රෝගය නිසා දිගු කලක් ප්‍රතිකාර ගන්නා අය බොහෝය.

රුධිර සීනි මට්ටම ඉහළ අගයක පවතින සහ ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හා ආහාර පාලනය කරන බොහෝ දෙනා අවුරුදු සමයේදී කැවුම්, කොකිස් වැනි සීනි බහුල රසකැවිලි කන්නට ‘ආසයි බයයි’ යන දෙගිඩියාවේ සිටිති. කන්නත් ඕනේ… සීනි පාලනය කරගන්නත් ඕනේ… යන මේ පියවර දෙකම එකවිට සිදුකරගත නොහැකි නම් ඔවුන් අවධානය යොමු කරනුයේ ලබන මාසයේදී සීනි ආහාර ගැනීම අඩු කර රුධිර සීනි මට්ටම පාලනය කර ගැනීමටය.

උත්සව සමයේදී සීනි සහිත ආහාර ගැනීම සිදු කිරීමේදී මේ මාසයේදී වැඩිපුර කාලා, ලබන මාසයේදී අඩුවෙන් සීනි ආහාර ගැනීම සිදුකරනවා යන ක්‍රමය සෑම පුද්ගලයකුටම අනුගමනය කළ නොහැකිය. ඒ සඳහා එම පුද්ගලයාගේ දියවැඩියා රෝග මට්ටම සැලකිල්ලට ගත යුතුය. එනිසා ඔවුන් කාණ්ඩ තුනකට ගොනු කර ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.

පළමු කාණ්ඩය වනුයේ දැනටමත් දියවැඩියාව සහිත පුද්ගලයන්ය. දෙවැනි කාණ්ඩය වනුයේ දියවැඩියාව දැනට නැති නමුත් පූර්ව දියවැඩියාව මට්ටමේ සිටින පිරිස්ය. තෙවැනි කාණ්ඩය වනුයේ දැනට දියවැඩියාව නොමැති පුද්ගලයන්ය.

දියවැඩියා රෝගීන්

දියවැඩියාව රෝගය ඇති බවට තහවුරු වී ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් අධික ලෙස සීනි, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීම නොකළ යුතුය. මන්දයත් උත්සව සමයේදී සකස් කරන කැවුම්, කොකිස් ආදී කැවිලි වර්ගවල සීනි, පිටි සහ තෙල් අධිකව පවතී. එනිසා එම කැවිලි වර්ගවලින් සිරුරට එක්වන සීනි සහ මේදය ප්‍රමාණය සාමාන්‍ය ආහාරවලට වඩා වැඩිය. එසේ සිරුරට එක්වන සීනි ප්‍රමාණය ඔවුන් දියවැඩියාව පාලනය සඳහා දැනට ගනු ලබන ඖෂධ මාත්‍රාව මගින් පාලනය කිරීම අපහසුය. එබැවින් ඔවුන් පැණිරස ආහාර ගැනීමේදී වඩා සැලකිලිමත් විය යුතුය.

පූර්ව දියවැඩියාව සහිත පුද්ගලයන්

රුධිරයේ සීනි මට්ටම 100mg – 110mg අගයක පවතිනවා නම්, පවුලේ අන් සාමාජිකයන් අතර ද දියවැඩියාවට ගොදුරු වූ අය සිටී නම්, සිරුරේ බර ප්‍රමාණය වැඩි නම් එවැනි පුද්ගලයන් පූර්ව දියවැඩියා රෝගයෙන් පෙළෙන අය ලෙස සලකනු ලබයි. මෙවැනි පුද්ගලයන් ද පැණිරස ආහාර වැඩිපුර ගැනීම එතරම් සුදුසු නැත. එනිසා එකම වර්ගයේ කැවිලි වර්ග කිහිපයක් හෝ වර්ග කිහිපයකින් කැවිලි දෙක තුනක් එකවර නොගෙන එක් රසකැවිල්ලක් එක් වරකට රස බැලීම කළ හැකි වේ. එසේම උත්සව සමය සතියක් දෙකක් පවතින නිසා කැවිලි වර්ග ද එම කාලය තුළ භාවිත වන බැවින් රසකැවිලි පාලනයකින් යුතුව ගත හැකිය. එක දිනකට එක් රසකැවිලි වර්ගයක් බැගින් ආහාරයට ගැනීමට අවධානය යොමු කළ යුතුය.

දියවැඩියාව නොමැති අය

අවුරුදු සමයේ කන පැණිරස කෑමවල ඇරියස් කවර් කරන හැටි

දියවැඩියාව රෝගයට ගොදුරුව නැති පිරිස අප රට තුළ සැලකිය හැක්කේ කුඩා දරුවන් සහ තරුණ පිරිස පමණි. වර්තමානයේ අප රටේ වැඩිහිටියන්ගෙන් හරි අඩක් පමණ දියවැඩියාව රෝගයට ගොදුරුව සිටිති. ඉන් නාගරික ප්‍රදේශවල ජීවත්වන වැඩිහිටියන් බහුතරයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇත. එනිසා කුඩා දරුවන් සහ ක්‍රියාශීලීව කටයුතු කරන තරුණ පිරිස දියවැඩියාව රෝගයට ගොදුරුව නැති බව සැලකිය හැකිය. නමුත් ඔවුන් ද පැණිරස වර්ග ආහාරයට ගැනීමේදී පාලනයකින් යුතුව එය ගත යුතුය. විශේෂයෙන්ම කැවිලි වර්ගවල සීනි පමණක් නොව තෙල් ද බහුල නිසා වැඩිපුර තෙල් සිරුරට එක්වීමේ අවදානමක් ද ඇති බැවිනි.

මෙම තත්ත්වය මත අප මේ මාසයේ වැඩිපුර කැවිලි පෙවිලි ආහාරයට ගෙන ලබන මාසයේදී ආහාර පාලනය මඟින් දියවැඩියාව පාලනය කරගන්නවා යන ක්‍රියාව සාර්ථක නොවන බව වටහාගත යුතුය. එසේම ඇතැම් දෙනා වැඩිපුර පැණිරස ගැනීම නිසා දැනට දියවැඩියාව පාලනය සඳහා ගනු ලබන ඖෂධ මාත්‍රා ප්‍රමාණය වැඩිපුර ගැනීමට යොමු වේ. එය ද එතරම් හිතකර නැත. එසේ වූ විට නැවත එම ඖෂධ මාත්‍රාව සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට අපහසු විය හැකිය.

අවුරුදු කාලයේ දියවැඩියාව පාලනය කරගන්නේ කොහොමද?

දියවැඩියාව ඇති අයත් පූර්ව දියවැඩියාවේ සිටින අයත් කැවුමක්, කොකිසක්, අතිරසයක් දුටුවිට එය කන්නට ප්‍රිය කරති. එනිසා, මට දියවැඩියාව යැයි කියා මානසික පීඩාවෙන් නොසිට පාලනයකින් යුතුව රසකැවිල්ලක් ගැනීම කළ හැකිය. එසේම රසකැවිල ද ආහාරයට ගන්නා නිසා දවසේ අනෙක් ආහාරපාන වෙනදාට වඩා පාලනයකින් ගත යුතුය. කැවිලි වර්ග දෙක තුනක් ආහාරයට ගෙන කිරිබත් කෑලි දෙක තුනකත් රස බලා දවසේ ප්‍රධාන ආහාර වේලද වෙනදා මෙන් නොගත යුතුය. එය යම් ප්‍රමාණයකට අඩු කළ යුතුය.

එසේම තේ, කෝපි ආදිය පානය කිරීමේදී සීනි භාවිත නොකර එය සකස් කරගත හැකිය. දියවැඩියා රෝගීන් මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ, මේ දිනවල පවතින උණුසුම් කාලගුණය නිසා පිපාසය නිවාගැනීමට පිරිසිදු ජලය පානය හැර පැණිරස බීම වර්ග පානය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටය. ඇතැම් දියවැඩියා රෝගීන් පැණිරස බීම වෙනුවට තැඹිලි සහ කුරුම්බා ආදිය පානය කරති. ඒවායේ ද සීනි අඩංගු බැවින් පිපාසය නිවාගැනීමට ජලය පමණක් පානය වඩාත් සුදුසුය.

දියවැඩියා රෝගියෙක් ආහාරපාන ගැනීමේදී තම කැමැත්තෙන්ම එය සීමා කරනවිට ඒ සඳහා දිරිමත් කිරීම කළ යුතුය. එසේ නැතිව හැමදාම නැහැනේ… යැයි පවසා ඔවුන් සීනි බහුල ආහාර ගැනීමට උනන්දු කරවීම නොකළ යුතුය. එසේම කැවිලි වර්ග සකස් කර ඇත්තේ හාල් පිටි, කිතුල් පැණි යොදාගෙන බවත් එනිසා සීනි ගැන එතරම් බියක් ඇති කරගත යුතු නැති බවත් පවසති. ඒ සම්බන්ධව මෙතෙක් නිවැරැදි තොරතුරු නැති නිසා එසේ සකස් කළ ආහාර වැඩිපුර ගැනීම නොකළ යුතුය. මන්දයත් පැණිරස ආහාර මඟින් සිරුරේ රුධිර සීනි මට්ටම ඉහළ යනුයේ එකවරය. එය සෙමින් සෙමින් සිදුවන දෙයක් නොවන නිසා දියවැඩියා රෝගියකුගේ රුධිර සීනි මට්ටම එකවර ඉහළ යෑමේ අවදානමක් පවතී.

අවුරුදු සමයේදී වැඩිපුර සීනි සහිත ආහාර ගන්නා නිසා වැඩිපුර ව්‍යායාමවල යෙදීමද කළ යුතුය. එහිදී ඇවිදීම, ක්‍රීඩාවල යෙදීම ආදිය කළ හැකිය. පවතින උණුසුම් කාලගුණය නිසා උදෑසන සහ සවස් කාලයේදී ව්‍යායාමවල යෙදීම වඩාත් සුදුසුය.

මෙලෙස කටයුතු කිරීමෙන් දියවැඩියාව රෝගය පාලනය කරගනිමින් අවුරුදු සමය සතුටින් ගත කළ හැකිය.

අවුරුදු සමයේ කන පැණිරස කෑමවල ඇරියස් කවර් කරන හැටි

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ
වෛද්‍ය මහාචාර්ය විද්‍යාජෝති
ප්‍රසාද් කටුලන්ද
සකස් කළේ – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment