ආණ්ඩුවත් විපක්ෂයත් 21 අඩස්සියේ

491

යෝජිත විසිඑක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පිළිබඳව ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ ද දැඩි මතබෙදීමක් ඇතිව තිබේ.මෙම යෝජනාවලිය පිළිබඳව පෙරේදා (3 දා) දිනයේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කළ අතර හෙට දිනයේදී සියලු සංශෝධන සහිතව එම යෝජනාවලිය යළි ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.යෝජිත විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පූර්ණ සහාය ලබා දෙන බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. එමෙන්ම පක්ෂ 9 කින් සැදුම්ලත් ස්වාධීන පක්‍ෂ එකමුතුව ද විසිඑක්වන සංශෝධනයට සහාය දීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය. සංශෝධනය වඩාත් සාර්ථක කර ගැනීමට තමන් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධන යෝජනා සම්මත කර ගැනීම වඩාත් සාර්ථක බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ආණ්ඩුව ගෙන එන යෝජනා තවම ස්ථීරවම දැක නැති නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවද හෙතෙම කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අටදෙනාගේ කණ්ඩායම 21 වන සංශෝධනය සඳහා යෝජනාමාලාවක් භාර දෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශය ජනපති යටතේ පැවතිය යුතු බවත් පළාත් සභා ක්‍රමය විධායක ජනාධිපති ධුරය සමග බැඳී පවතින නිසා පෙඩරල් ක්‍රමයක් ඇතිවීමට ඉඩකඩ ඇතිකිරීමක් නොවිය යුතු බවටත්, පිහිටුවන කොමිෂන් සභාවල නිලධාරීන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නේ නම් ඔවුන් පිළිබඳ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් පැවතිය යුතු බවටත් වන යෝජනා ඉදිරිපත් කරන බවද හෙතෙම කීය.

මේ අතර තමන් විධායක ජනපති ක්‍රමය අත්‍යවශ්‍ය බවට පිළිගන්නා බව පොදුජන පෙරමුණ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. තමා 20 වන සංශෝධනයට විපක්‍ෂයේ සිටිමින් අත ඉස්සුවේ ඒ නිසා බව ද ඇය සඳහන් කළාය.21 වන සංශෝධනය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ද එක් මතයක් තවම නොමැති අතර බොහෝ මන්ත්‍රීවරුන් කුමක් කරන්නේද යන්න දෙගිඩියාවෙන් පසුවන බවද වාර්තා වේ. එම පක්ෂයේ තවත් පිරිසක් 21 සංශෝධනයට එරෙහි විය යුතු බවට පක්‍ෂය පුරා සාකච්ඡා පවත්වන බවද වාර්තා වෙයි.

මේ අතර මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් පිරිසක් පසුගියදා අධිකරණ ඇමැතිවරයා හමුවී 21 වන සංශෝධනය සඳහා තවත් යෝජනා මාලාවක් භාරදී ඇත.ආරක්‍ෂක අමාත්‍යාංශය හැර වෙන අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා නොදැරීම, ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැති වරයාගේ උපදෙස් ලබාගැනීම, අගමැතිවරයා ඉවත් කිරීමේදී ජනපතිවරයාට පවතින බලය ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් සිදු කිරීම ව්‍යවස්ථාදායක සභාව නිර්පාක්ෂික විය යුතු බවට ද එම සංවිධාන යෝජනා කර ඇත.

නෝමන් පලිහවඩන – රනිල් ධර්මසේන – අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment