ආසියානු ශූර ශ්‍රී ලංකාව අද පළමු තරගයට

257

ආසියානු ක්‍රිකට් කිරුළ දරන කණ්ඩායම වන ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වන පළමු තරගය අද (31 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද ප.ව.3.00 ට ආරම්භ වීමට නියමිත අතර මෙම තරගය මෙවර තරගාවලිය යටතේ පැවැත්වෙන දෙවෙනි තරගය වේ.

තරගාවලියේ පළමු තරගය සත්කාරක පකිස්තානය සහ නේපාලය අතර ඊයේ පකිස්තානයේ මුල්තාන් හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නොමැතිව අද තරගයට ඉදිරිපත් වන අතර පන්දු යවන්නෝ හතර දෙනෙකු සහ පිතිකරුවෙක් එසේ ආබාධ ලැයිස්තුවට එක්ව සිටිති.

ඒ පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ, දිගින් දිගටම ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි. එහෙත් ඊට හේතුව පුහුණුවීම්වල හෝ වෙනත් වරදක් නොවන බවද ඔහු පැවසීය.

ආසියානු කුසලානය දිනූ කණ්ඩායම ලෙස මෙම තරගාවලියට එක්වීම නිසා ශ්‍රී ලංකාවට අමතර පීඩනයක් තිබේ දැයි මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේ සාමාන්‍යයෙන් පීඩනයක් යටතේ ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරන බවයි. පසුගිය වර ශූරතාව ජයග්‍රහණය කළේ ද එම පීඩනය මතින් බව ඔහු පැවසීය.

“සාමාන්‍යයෙන් අපි පීඩනයේදී හොඳින් ක්‍රීඩා කරනව. ගියවර අපි ශූරතාව ජයග්‍රහණය කළේ එය පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක්. මෙවර එක්දින තරගාවලියක්. එය හොඳ තරගකාරී මුහුණුවරක් ගන්නවා. අපිට හොඳ අත්දැකීම් සහිත පිතිකරුවන් සිටිනවා.”

බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විසින් මෙහෙයවන අතර ඔවුන්ගේ ද ප්‍රධාන පිතිකරුවෙකු වන ආරම්භ පිතිකරු ලින්ටන් දාස් උණ රෝගයක් හේතුවෙන් මෙවර තරගාවලියට එක් නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචිතය : දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුෂාන්, කසුන් රාජිත, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment