ඉන්දියානු රුපියලෙන් දේශීය ගනුදෙනු බෑ

254

මෙරට ගනුදෙනුවලට රුපියල පමණයි
භාවිතය ආයෝජන දිරිගැන්වීමක් – මහ බැංකුව කියයි

බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කිරීමෙන් ඉන්දියානු සංචාරකයන්ට වැඩි පහසුවක් සැලසෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (2 දා) සඳහන් කළේය.

ඉන්දියානු රුපියල විදේශ මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් මෙරට දේශීය ගෙවීම්, පියවීම් කිරීමට ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන්ගේ සියලු ගනුදෙනු සඳහා වලංගු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල පමණකැයි ද මහ බැංකුව පවසයි.

මහ බැංකුව මෙසේ ද කියයි.

2000 මාර්තු මස ක්‍රියාවට නැංවුණු ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වුණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් විශේෂයෙන් ම දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා දිරිගැන්වීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවේ එකඟත්වය සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලකාව තුළ විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියලෙහි භාවිතය ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරනු ලබන සීමාවන්වලට යටත් වේ.

වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්‍යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල්, ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේදී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා වන අමතර ගනුදෙනු පිරිවැය අඩු කිරීම ඇතුළු බොහෝ ප්‍රයෝජන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

2022 අගෝස්තු මාසයේදී අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළුව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16 ක් අනුමත වී ඇති අතර, ඒවා පහත පරිදි වේ.

  1. ඔස්ටේ්‍රලියානු ඩොලර්, 2. කැනේඩියානු ඩොලර්, 3. චීන රෙන්මින්බි, 4. ඩෙනිෂ් ක්‍රෝනර්, 5. යූරෝ, 6. හොංකොං ඩොලර්, 7. ඉන්දියානු රුපියල්, 8. ජපන් යෙන්, 9. නවසීලන්ත ඩොලර්, 10. නෝර්වීජියානු ක්‍රෝනර්, 11. ස්ටර්ලිං පවුම්, 12. සිංගප්පූරු ඩොලර්, 13. ස්විඩිෂ් ක්‍රෝනර්, 14. ස්විස් ෆ්‍රෑන්ක්, 15. තායි බාත්, 16. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරිගැන්වීම යැයි ද මහ බැංකුව වැඩිදුරටත් කියයි.
    ශ්‍යාම් නුවන් ගනේවත්ත
advertistmentadvertistment
advertistmentadvertistment