ඇඳල කරල යන්න එපා වදී ඇස්වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දී පා තබා
උඹ ඇඳල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා

මේ ගීතය ඔබට ඇසෙද්දීම ඔබට මතක් වෙන්නේම ජනප්‍රිය ගායකයන් දෙපළක් වන රවී රොයිස්ටර් සහ දිමිත්‍රිය. යූ ටියුබ් අවකාශයේ මෙම ගීතය නැරඹුම් වාර ලක්ෂ අනූවකට අධික සංඛ්‍යාවකට උරුමකම් කියයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ මෙම ගීතය මේ වන විට ඉන්දියාවේද ජනප්‍රිය වෙමින් පවතී. ඒ ඉන්දියානු නළු විජය ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන ROMEO චිත්‍රපටයේ එක් ගීතයක් ලෙසට මෙම ගීතය තෝරාගැනීමත් සමගමය.

ඉන්දියාව කළඹන සිංහල තරුව රවී

ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන තින්ක් මියුසික් ඉන්ඩියා සමග එක්ව රවී රොයිස්ටර්ගේ මෙම ගීතය දමිළ භාෂාවෙන් VETHALA නමින් පසුගියදා එළිදැක්විණි.

මෙම ගීතයේ විශේෂත්වය වන්නේ මෙහි පද රචනය ජනප්‍රිය නළු විජය ඇන්තනී විසින් සිදුකරන විට මෙහි ගායනය සිංහල ගීතය ගායනා කළ රවී රොයිස්ටර්ට අවස්ථාව උදාවීමයි. වෙතල ගීතය යූ ටියුබ් අවකාශයට මුදාහැර මේ වන විට නැරඹුම් වාර මිලියන දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

රවී රොයිස්ටර් මෙරට ජනප්‍රියත්වයට පත්වූයේ දෙරණ ඩී්‍රම් ස්ටාර් අටවන අදියරේ වැඩසටහනට සහභාගිවීමෙන් අවසන් තරගකරුවන් පස්දෙනා අතරට පැමිණීමේ හැකියාව උදාවීමත් සමගය. ඊට පසුව ඔහු ගායනා කළ ‘හමාර බණවර’ ගීතය ද ගොඩක් ජනප්‍රිය වුණා.

ඉන්දියාව කළඹන සිංහල තරුව රවී

“ මේක මට හිතාගන්න බැරි අත්දැකීමක්. මම සහ දිමිත්‍රි එකතුවෙලා කරපු සින්දුව තමයි ‘පස්ස’. ඒකෙ ගී තනුව අරගෙන තමයි වෙතල කියන ගීතය නිර්මාණය වෙන්නේ. ඒකත් එක්ක ජාත්‍යන්තරයට යන්න ලැබීම ගැන වගේම මගේ දිවියේ මම ලබාගත්තු හොඳම අත්දැකීම කියලත් මට කියන්න පුළුවන්.

මේ ආරාධනාව ලැබෙන්නේ කොහොමද?

මට මේ ආරාධනාව ලැබෙන්නේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ. මට ලින්ක් එකක් සහ මැසේජ් එකක් දාලා ‘මම විජය ඇන්තනීගේ සහාය අධ්‍යක්ෂවරයා විජය ඇන්තනී සර් කැමැතියි එයාගේ ඊළඟ ෆිල්ම් එකේ සින්දුවට මේ ගීතය ගන්න කියලා’. කොහොමද මේ වැඩේ කරන්නේ කියලත් ඒ පණිවුඩයේ අහලා තිබුණා.

ඉන්දියාව කළඹන සිංහල තරුව රවී

ඒ වෙලාවේ මොකද හිතුණේ?

ඒ වෙලාවේ මට හිතුණේ ඒක ඇත්තටම බොරුවක් කියලයි. මොකද ඉන්දියානු දුරකථන අංකයක් සහ මගේ ගීතයේම ලින්ක් එකක් තමයි එවලා තිබුණේ. ඉතිං මට පොඩි චකිතයක් ආවා මේක බොරුවක්ද කියලත්. කොහොම හරි මම දවස් දෙකක් විතර ඉඳලා තමයි උත්තරයක් දැම්මෙත්. මුලින්ම උත්තරයක් දැම්මේ ‘හලෝ’ කියලා. ඊට පස්සේ තමයි දුරකථන අංකයට ඇමතුම් පවා ලබාගත්තේ.

විජය ඇන්තනී කථා කළාද?

විජය ඇන්තී සර් මට කථා කරලා වැඩේ කෙරෙන විදිහ කිව්වා. විජය ඇන්තනී සර් කථා කරනකොට මට ලොකු සතුටක් ඇතිවුණා. ඒක වචනවලින් කියන්න බැහැ. මගේ හඬ ගැනත් කියල අපි ඉදිරියට වැඩකරමු කියලත් කිව්වා.

ගීතය ඔබටම ගායනා කරන්න කිව්වහම මොකද හිතුණේ ?

ඒ ආරාධනාව ලැබුණහම මට හිතුණා මේක මගේ ජීවිතයට හොඳ ප්ලස් පොයින්ට් එකක් කියලා. අනික මගේ සංගීත ජීවිතයටත් හොඳ අවස්ථාවක්. ඇත්තටම කිව්වොත් මම දමිළ භාෂාව දන්නේ නැහැ. ඉතිං මම දමිළ භාෂාව හසුරුවාගෙන වැඩේ කරන්න පුළුවන් කියන විශ්වාසයේ හිටියා. මේ වෙලාවේ චන්ද්‍රභාෂා ව මතක් කරන්න ඕනෑ. මොකද ඒ දෙන්නා තමයි මේ වචන හරියට උච්චාරණය කරන්න කියලා දුන්නේ. ඊට අමතරව විජය ඇන්තනී සර් මට වචනවල තේරුමට අනුව මම ක්‍රියාකරන්න ඕනෑ විදිහ කියලා දුන්නා.

සින්දුව කළාට පස්සේ විජය ඇන්තනී මොනවද කිව්වේ?

සර්ගේ පළමු ප්‍රතිචාරය තමයි මේක සුපර් හිට් එකක් වෙනවා කියලා කිව්වා. ඒ වගේම මගේ හඬ ගැනත් හොඳ කිව්වා.

ඇත්තටම සින්දුව ඉන්දියාවේ වෛයිරල් වෙලා නේද?

ඉන්දියාවේ දැනට ට්‍රෙන්ඩින් අංක දෙකට ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ මේක ට්‍රෙන්ඩින් අංක එකට ඒවි.

ජාත්‍යන්තර අත්දැකීම් ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදිහට මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මම ලොකු වෙනසක් කරලා තමයි මෙතැනට ආවේ. ඉතිං මතක් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම දෙරණ ඩ්‍රිම් ස්ටාර් වැඩසටහන. මොකද දෙරණ ඩී්‍රම් ස්ටාර් තුළින් තමයි ජනතාව අතරට ආවේ. එතැන හිටපු හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ.

මේ වැඩේට කවදාද ලංකාවෙන් ගියේ?

ඉන්දියාවේ චෙන්නායිවල විජය ඇන්තනී චිත්‍රපට සමාගමේ තමයි මේ ගීතය පටිගත කිරීම් සිදු කළේ. අතිරේක සංගීත කටයුතු සියල්ල සිදුකළේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වුණු භාරත්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විනායන්. චිත්‍රපටය එළැඹෙන රාමසාන් දිනයට සමගාමීව තිරගත කිරීමට නියමිතයි. මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමයි ඉන්දියාවට ගියේ.

ඇයි වැඩි සද්ද බද්දයක් නැතිව හිටියේ?

වැඩේ එළියට එනකම් හිටියා. මොකද මම ඒ මාස කිහිපයේ අලුත් ගීත දැම්මෙත් නැහැ. මට ඕනෑ වුණා මගේ අලුත් ගීතය වන මේක එළියට එනකම් ඉන්න. දැන් ගීතය සෑහෙන වෛයිරල් වෙලා තියෙනවා. මේ වැඩේ එළියට එනකම් තමයි මාත් බලාගෙන හිටියේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment