ඉන්ධන අර්බුදයෙන්  ජල සැපයුමටත් බලපෑම්

101

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජල සැපයුම ද අඩාල විය හැකි යැයි ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (03 දා) පැවසීය.

ජලසම්පාදන මණ්ඩලයේ ජල පොම්පාගාර සහ පිරිසිදු කරන ස්ථානවල සේවකයන් සේවා මුර ක්‍රමය යටතේ දවසේ පැය 24 ම වසරේ දින 365 ම සේවය කරන බවත්, ඔවුන්ට පෞද්ගලිකව ඉන්ධන සපයා ගැනීමේ අපහසුතා සහ පොදු ප්‍රවාහනයේ ගැටලු ඇතිවීම නිසා සේවයට වාර්තා කිරීමේ අපහසු තත්ත්වයක් පවතින බවට වාර්තා වී ඇතැයි ද රත්නායක මහතා කියා සිටියේය.

එමෙන්ම දෛනිකව ජලනළ ආශ්‍රිත සුළු බිඳවැටීම් 300 ක්, මහා පරිමාණ බිඳ වැටීම් 10 ක් පමණ වාර්තා වන බවත් ඒවා අලුත්වැඩියා කිරීම සඳහා සේවකයන් එම ස්ථානවලට යොමු කිරීමට ඉන්ධන අර්බුද නිසා අපහසුතා ඇතිවී තිබෙන බව ද ඔහු පැවසීය.

රට තුළ ඉන්ධන අර්බුදයක් හට ගැනීම මාස තුනකට පෙර ඉන්දීය ණය යටතේ ඉන්ධන ලැබීමේදී වගකිවයුත්තන් දැන සිටි බවත් එසේ දැන සිටියදීත් නිසි වැඩපිළිවෙළක් සකස්කර ගැනීමට නොහැකි වූ වත්මන් පාලනයට ඉවත්වී කළ හැකි අයකුට රට භාර දිය යුතු බවත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment