උත්තේජන ඖෂධ උස්සන්නවී සම්භාහනයට ගිය පුද්ගලයා මරුට

1073

බොරලැස්ගමුව පොලිස් වසමට අයත් දෙහිවල – මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු ඉකුත් (29) දින රාත්‍රි 07.30ට පමණ හදිසියේ ඇති වූ පපුවේ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමු පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පවසයි. මරණයට පත් පුද්ගලයා යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති බවට සැක පහළ කරන බවත් එම ඖෂධ හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත මෙම පුද්ගලයා මියයන්නට ඇතැයි සැක කරන බවත් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර ලබා දුන් නියෝග මත මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කළ බවත් පොලිසිය පැවසීය.

ආයුර්වේද සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් සිදු කරනු ලබන මෙම ස්ථානය කිහිප විටක්ම වටලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කර ඇති බවත් එයද නොතකා දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.බී.එස්. ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 36763 සමන්, පොලිස් කොස්තාපල් 92525 මාලන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලබති.

එස්.ඩී. අබේසිංහ -මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment