එංගලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ ශාස්ත්‍රපති පෙතිගමුවේ හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

67

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඉල්ෆඩ් නගරයේ රෙඩ්බි්‍රජ් බෞද්ධ විහාරයේ ආධිපත්‍යය හොබවමින් ශ්‍රී ලාංකේය ථේරවාද බුද්ධ ධර්මයේත් සිංහල සංස්කෘතියේත් අභිමානය ප්‍රචලිත කරලන්නට කැප වී ක්‍රියාකරන ශාස්ත්‍රපති පෙතිගමුවේ හේමරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව එංගලන්තයෙහි ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම ගිහි පැවිදි සැමගේ සතුටට කරුණකි.

මොල්ලිගොඩ සංඝ පරම්පරාවේ සාමාජිකයකු ලෙස එවකට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරය හෙබවූ අතිගරු මොල්ලිගොඩ ශ්‍රී අරියවංස මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හොරණ ලබුගම සිරි ධම්මරක්ඛිතාරාමයේදී පැවිදි වූහ. එම විහාරාධිපතිව වැඩ සිටි මොල්ලිගොඩ පියරතන මාහිමිපාණන් වහන්සේ ගේත් එවකට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය ශෝභාමත් කොට පසුව මහා නායක පදවියට පත්වූ රාජකීය පණ්ඩිත

අතිගරු ලබුගම ශ්‍රී ලංකානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේගේත්, මොල්ලිගොඩ වසන්තාරාමාධිපතිව වැඩ සිටි ගෝණදූවේ පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් ශිෂ්‍යවරයන් වහන්සේ නමක ලෙස හේමරතන නාහිමියෝ පැවිදි වූයේ 1970 ජූලි 04 වන දින දීය. ඉන් වසර නවයකට පසු එනම් 1979 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේදී උතුම් වූ උපසම්පදාව ලැබූහ. 1993 වසරේදීම කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව (Postgrasduate Diploma in Education) ලබාගත්හ. බෞද්ධ දර්ශනය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට උනන්දු වූ හේමරතන හිමියෝ 1995 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයට ඇතුළත්ව බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MA in Buddhist Studies) ද ලබා ගත්හ. මෙවන් අධ්‍යාපන පසුබිමකින් ස්වකීය ජීවිතය සරාස ගත් හේමරතන හිමිපාණන් වහන්සේ ඉංග්‍රීසි භාෂා කුසලතාවෙන් පිරිපුන් භික්ෂුවක බවට පත්වූහ. තමන් වහන්සේගේ භාෂා කුසලතා තවත් ඔපනංවා ගනු පිණිස උන්වහන්සේ මදුරාසියේ දක්ෂිණ භාරතීය හින්දි ප්‍රචාරක සභාවේ (Dakshina Bharat Hindi prachar Sabha, Madras ප්‍රාථමික පරීක්ෂාවට පෙනී සිට 1992 දී හින්දි භාෂාව පිළිබඳ පුහුණුවක් ලබා ගත්හ. එපමණක් නොව ශ්‍රී ලංකා ජපන් භාෂා අධ්‍යයන සංගමයේ (Japanese Language Education Association) ප්‍රථම පාඨමාලාවට පෙනී සිට 1997 දී ඒ පිළිබඳ සහතික පත්‍රයක් ද ලැබූහ. ශ්‍රී ලාංකේය භික්ෂුවක විසින් සපුරාගත යුතු අධ්‍යාපන ශක්‍යතා රැසක් තමන් වහන්සේ වෙත ලබාගත් හේමරතන හිමියෝ ස්වකීය අධ්‍යාපනයේ ප්‍රතිඵල සමාජය වෙත ප්‍රදානය කිරීමේ මහඟු කාර්යයට අවතීර්ණ වූයේ 1984 වර්ෂයේදීය. විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය ලැබීමත් සමගම උන්වහන්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල මහාකාශ්‍යප විද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරු තනතුරකට පත්වූයේ 1984-04-16 දින සිට ක්‍රියාත්මක වන පරිදිය. කොටි ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාරවලින් පීඩිත වූ එම ප්‍රදේශයේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කිරීම සඳහාත් ඔවුන්ගේ ගුණ නැණ වැඩීම සඳහාත් ඒ කාලය තුළ ඇප කැප වී කටයුතු කිරීමට හේමරතන හිමියන්ට හැකියාව ලැබිණ.

භික්ෂූන් වහන්සේ නමක ලෙස ශාසනික හා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය හදාරා ප්‍රතිබල සම්පන්නව අධ්‍යාපනික හා ආගමික වශයෙන් වටිනා මෙහෙයක් ලංකාව තුළ ඉටුකරමින් වැඩසිටි පෙතිගමුවේ හේමරතන හිමිපාණන් වහන්සේ 2004 වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඉල්ෆඩ් නගරයේ පිහිටි රෙඩ්බි්‍රජ් බෞද්ධ විහාරයේ ආධිපත්‍යය ලැබූහ.

ලන්ඩනයේ ජීවත් වූ රෙජිනෝල්ඩ් විමලසුන්දර මහතාගේ නායකත්වයෙන් පවුල් 20 ක පමණ පිරිසක් එකතුව 1995 වසරේ පටන් දරන ලද උත්සාහයක ප්‍රතිඵලය වශයෙන් 1998 නොවැම්බර් මාසයේදී ආරම්භ කළ රෙඩ්බි්‍රජ් බෞද්ධ විහාරයේ කටයුතු සිදුකරගෙන යන්නට ස්වාමීන්වහන්සේ නමක් අවශ්‍ය බව ඊට සම්බන්ධ දායක පවුලක් විසින් මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි වර්තමාන විහාරාධිපති හා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයන අංශාධිපති මහාචාර්ය හෝමාගම ධම්මානන්දාභිධාන කලුතර මහදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනුම් දෙන ලදුව උන්වහන්සේගේ දැඩි ඉල්ලීම යටතේ හේමරතන හිමිපාණන් වහන්සේ එංගලන්තයට වැඩම කළහ. රෙඩ්බි්‍රජ් විහාරය ආරම්භ කරන ලද්දේ ස්වාමින් වහන්සේ නමකගේ මඟපෙන්වීම යටතේ නොව සැදැහැති දායක දායිකාවන්ගේ මූලිකත්වයෙනි. සමාරම්භක අවධියේදී ඒ සඳහා අවශ්‍ය

මාර්ගෝපදේශ හා සහභාගිත්වය ලැබුණේ එවකට ලන්ඩන් විහාරවාසී වූ වර්තමාන ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බි්‍රතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ගරුතර බෝගොඩ සීලවිමල නාහිමිපාණන් වහන්සේ වෙතිනි. ඉන්පසු වරින් වර ස්වාමීන් වහනසේලා කිහිප නමක් නේවාසිකව වැඩ සිට තිබේ. ඒ කාලය තුළ විහාරස්ථානයේ යම් යම් සංවර්ධනය සිදුව ඇත. හේමරතන හිමිපාණන් වහන්සේගේ පැමිණීමෙන් පසු රෙඩ්බි්‍රජ් විහාරයේ සංවර්ධනය වේගවත් විය.

1998 පවුල් විස්සකින් ඇරඹි දායක සභාව ශක්තිමත් වී පවුම් 180,000 ක් වටිනා ගොඩනැඟිල්ල මිලදී ගැනීමට අවශ්‍ය අඩිතාලම හේමරතන නාහිමියන් පැමිණෙන විට සකසා තිබිණ. ඒ සඳහා අවශ්‍ය වූ පවුම් 40,000 ක තැන්පතුව සොයා ගැනීමට පැරණි දායක සභා සාමාජිකයෝ විවිධ වැඩසටහන් සංවිධානය කළහ. ඇතැම් විට වෙනත් අයගෙන් ණය පදනමෙන් මුදල් ඉල්ලා ගෙන පසුව පියවා දැමූහ. ඒ බව ඊට මුල් වූ එම පැරණි සාමාජිකයන් ගෙන් දැනට ජීවත්ව සිටින හේමා විමලසුන්දර මහත්මිය ඇතුළු දායකකාරකාදීහු අදත් සිහි කරති. සිංහල ජනතාවට මෙන්ම බංග්ලාදේශය, ඉන්දියාව, බුරුම්‍ය, නේපාලය ආදී රටවල බෞද්ධයන්ට මෙන්ම බුදුදහමට ලැදි ඉංග්‍රීසි ජාතිකයන්ට ද අවශ්‍ය මඟපෙන්වීම් හේමරතන නාහිමියන්ගෙන්

ලැබෙයි. නාහිමියෝ සෑම බදාදා දිනකම සවස් භාගයෙහි විහාරයට පැමිණෙන එවන් පිරිස්වලට භාවනා පුහුණු කරවති. එපමණක් නොව රෙඩ්බි්‍රජ් බල ප්‍රදේශයේ ආගම් සංසදයේ (Redbrige Faith Forum) බුද්ධාගම පිළිබඳ නියෝජිතයා ලෙස කටයුතු කරන හේමරතන නාහිමිපාණන් වහන්සේ ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගමික නායකයන්ගේ පැසසුමට ලක්ව සිටිති. එම සංවිධානය මගින් වාර්ෂිකව සංවිධානය කරන වැඩසටහන්වලට බෞද්ධයන්ගේ දායකත්වය නොඅඩුව ලබාදීමට ක්‍රියා කරති.

අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි
පාලි හා බෞද්ධ අධ්‍යනාංශය
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ කාරක සභික

advertistmentadvertistment
advertistmentadvertistment