ඔස්තාද් බූරුවාට පෑගුණ පළඟැටි ගායන ශිල්පියා

66

සඳ පායා ඇති රාත්‍රියෙක එක්තරා වනාන්තරයෙක් මධ්‍යයෙහි වූ පිටියෙක බූරුවන් රැළක් තණ කමින් සිටියා. ඔවුන් තණ කමින් සිටි තැනට මඳක් ඔබ්බෙන් තරුණ පළඟැටියෙක් හුදෙකලාව විරහ ගී ගයමින් පොඩි සොමියක් දාන්නට වුණා. එක බූරු නාම්බෙක් නොදැනුවත්වම වගේ තණ උලා කමින් කෙමෙන් කෙමෙන් පළඟැටියා අසලට පැමිණුනා. ගයමින් සිටි රස පූර්ණ විරහා ගීතය මඳකට නතර කළ පළඟැටියා නොහොත් පී. ගැටියා බූරු නාම්බා සමග සංවාදයකට වැටුනා !

ඔස්තාද් බූරුවාට පෑගුණ පළඟැටි ගායන ශිල්පියා

මොකක්ද බං… මේ කන කෑමේ තේරුම උදේ හිමිදිරි පාන්දර නැගිටිනවා… ඊට පස්සේ රෑ එකොළහ දොළහ වෙනතුරු අඹරනවා ! යකෝ… ඔය උඹලගේ කටවල්වලට පොඩ්ඩ්ක් නිවාඩුවක් දීලා නිදාගනිල්ලකෝ. හිස ඔසවා කන්පොට සලා බ්‍රහ්ම බැල්මක් දැමූ බූරු නාම්බා පලඟැටියාව පයිසෙකටවත් නොසලකා මෙහෙම උත්තරයක් දුන්නා. ‘යකෝ අපෙත් කන් අඩි පැලෙන තරමට තෝ ඔහොම බෙරිහන් දුන්නාට ඕක කර්ණ රසායන මිහිරි සංගීතයක් කියලා හිතුවද යකෝ එහෙම නම් කම්මලේ යකඩ තලන එකත් මාර සංගීතයක්නේ !’

‘හෙහ්… හෙහ් …හෙහ්… කම්මලේ යකඩ තලා… දහඩියෙන් නැහැවුණා මුළු ගතම වෙහෙසුනා ! ඕවා සංගීතය නෙමෙයිද?….. හැත්තෑවේ දශකයේ සුපර් හිට්ස් ! අදත් ගැහුවොත් මාර මාකට් ! බූරුවන්ට ඉතිං තණකොළ මිසක් වෙන මොනවද උඹ රසඥතාවක් වින්දනයක් තියෙන එකෙක් නම්… මේ වනාන්තරයේ එවුන් උඹට බූරුවා කියලා කියනවයැ. අනිත් එක තොගේ කඳ බඩ ලොකුවට තිබුණට හරියකට ශ්‍රැතියකට පද පේළියක් ගයා ගන්න පුළුවන්ද?

‘දීපං… බලන්න… බැරිද කියලා පෙන්නන්න !!’

‘පුළුවන් … පුළුවන්… උඹව ගම්මානෙට අරගෙන ගිහිං කුරුමිණියෝ කන පොල්ගහක් යට බැඳලා කෑගස්සවන්න. එතකොට ඒ ගස් ටික බේරගන්න පුළුවන් කුරුමිනියන්ගෙන්’ පළඟැටියාගේ නෝන්ඩි ටෝක්ස් එකෙන් වර්චස් වුණ බූරු නාම්බා ‘හරි බලාගමු උඹ දැන ගනිං… ඔය දාපු ජල්තර ටෝක්ස් එකට මම ආයේ තෝව හම්බවෙන්න එන්නේ … ඔස්තාද් විභාගේ පාස් කරලා හරිද’ යි කිවූ බූරු නාම්බා පලඟැටියාට නිකං නෝන්ඩියක් දමා එතැනින් මාරු වුණා. ! ඉන් පස්සේ ටික කාලයක් යනතුරු රැහේ සිටි මේ බූරු නාම්බා දකින්නට ලැබුණේ නෑ. පළඟැටියා ඔහේ සුපුරුදු විදිහටම ජීවිතය ගෙන ගියා. දවල් තිස්සේ තණ පඳුරක් අස්සට රිංගලා හොඳට නිදා ගන්නවා. රෑ බෝ වී ගෙන එනකොට බොඩියට වොෂ් එකක් කාරිය දාලා හීනියට සෙන්ට් පාරක් ස්ප්‍රේ කරගෙන බජාර් එකට ඇන්ටර් වෙනවා. ඊට පස්සේ ඉතිං රෑ එළිවෙනකම්ම තැන් තැන්වලට රිංගලා සිංදු කියන එක තමා රාජකාරිය. හැබැයි මොනවා වුණත් එකක් කියන්න ඕනෑ. ගායන ශිල්පි පී. ගැටියාගේ සිංදු නම් ඉතිං සිංදුම තමා. ආයෙ ශ්‍රැතිය පැන්නා පිච් එක අවුට් ගියා… ඒවා නෑ …කිව්වා නං ඉතිං අච්චුවේ වැක්කෙරුවා වගේ තමා. කාලය බොහෝම වේගයෙන් ගෙවිලා ගිහිං අවුරුදු හතරකට විතර පස්සේ දවසක උන්නු හිටිය හැටියේම බූරු නාම්බා සාර විට කිට් එකකුත් ගහගෙන සුපුරුදු තණ පිටියෙන් මතුවුණා ! ‘අඩේඅප්පා … මොකද බං මේ …සරුවාලයක් ඇඳගෙන’

‘හෙහ්…හෙහ් …හෙහ් …දැන් මම ඔස්තාද් ! ඔස්තාද් කියන්නේ දවසක් මට අර නස්කූනී පළඟැටියා නිකං කිණ්ඩි ටෝක් එකක් දුන්නා ! මං ඔස්තාද් වුණේ උගේ පම්පෝරිය බල්ලට අරින්න’

දහවලේ බූරු නාම්බා මීමින්නෙක් එක්ක කතා කරමින් පිට්ටනියේ ඇවිද යන හැටි තණ බිස්සක් යටට වී පළඟැටියා බලා සිටියා.

‘මං මේ ආවේ පළඟැටියා හම්බවෙලා කොහොමද සැපදුක් කියලා අහලා ටෝකක් දීලා යන්න… අවුරුදු හතරකින් පහකින් දැක්කෙම නෑ … ඕකා එදා දාපු කිණ්ඩියට පොඩි ෂෝ පාරක් දාලා යන්න’…

‘මොනවද ඉතිං ඌ සංගීතය දිගටම දීගෙන යනවා’ මීමින්නා කට උල්කොට ඔස්තාද් බූරුවාට කියනවා.

තවත් අඩි දෙකක් ඉදිරියට යද්දී එකපාටම මරළතෝනියක් ඇහුනා.

‘අයි අයි අම්මෝ මගේ අණ්ඩ ! යකෝ තොපිට බැරිද ඇවිදන කොටවත් විනයක් ඇතුව තව එකෙකුට කරදරයක් නොවෙන්න ඒක කරන්න !”… බූරු කුර සපත්තුවට අහුවී අතක් බිඳී ගිය පළඟැටියා බූරු නාම්බාට දෙස් දෙවොල් තබමින් මොර දෙන්නට වුණා.

‘හුහ් මට පේන්නේ තෝ ඔස්තාද් වුණේ… ඇඟේම සංගීතේ තියෙන මගේ අතපය කඩන්න අසම්මජාති බූරුවා… අයි අයි අම්මෝ මගේ අත !! පළඟැටියා පැත්තක වැටි බෙරිහන් දෙද්දී බූරුවා අඩියට දෙකට මාරු වෙලා යන්න ගියා.

ආදර්ශය : බූරුවන් ඔස්තාද්ලා වන්නේ පළඟැටියන්ගේ අතපය කඩන්නටය.

advertistmentadvertistment
advertistmentadvertistment