අයස්කාන්තය – නිකම්ම නිකං සංගීත ප්‍රසංගයක් නෙමෙයි

97

හැමදෙයක්ම වගේම රේඩියෝවත් වෙනස් වුණා
නෙත් FM ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය

රූපවාහිනී නාලිකාවක් නොමැතිව තනිව ගුවන්විදුලි නාලිකාවක් පවත්වාගෙන යන එකම ගුවන් විදුලි නාලිකාව වන්නේ, නෙත් FM ගුවන්විදුලි නාලිකාවයි. වසර 18ක සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරන මේ අවස්ථාවේ ඔවුන් සංවිධානය කරන ‘අයස්කාන්තය’ සංගීත ප්‍රසංගය පිළිබඳවත් නෙත් FM ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය මහතා “මීවිතට” මෙසේ හඬ අවදි කළා.

අයස්කාන්තය - නිකම්ම නිකං සංගීත ප්‍රසංගයක් නෙමෙයි

● “18 වන සංවත්සරය” සමරන මේ අවස්ථාව ගැන මුලින්ම කතා කළොත්?

අපි 2005 වසරේ අන්තිම කාලයේ තමයි රේඩියෝව පටන් ගත්තේ. ඒ වනවිටත් ගොඩක් රේඩියෝ චැනල්ස් තිබුණා. නමුත් අපි සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට ඒ කියන්නේ, එතෙක් නොතිබුණ ආගමික හා ළමා වැඩසටහන් වගේ මුළු පවුලට ම ඇසිය හැකි විදියේ වැඩසටහන් පටන් ගත්ත නිසා අපට සාර්ථක වෙන්න පුළුවන් වුණා. මේ වනතෙක්ම ඉතින් මේ තියෙන තරඟකාරීත්වයක් එක්ක සහ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න හමුවේත් දිගට ම අපේ චැනල් එක පවත්වාගෙන යන්න පුළුවන්වෙලා තියෙන්නෙ ඒ නිසයි. අනෙක් සාර්ථක වෙච්ච රේඩියෝ චැනල්ස් ගොඩක් දෙනෙක් ටෙලිවිෂන් එකක් එක්ක තමයි ඉන්නේ. අපි විතරයි තනිව රේඩියෝ එකක් විදිහට ඉන්නෙත්.

අයස්කාන්තය - නිකම්ම නිකං සංගීත ප්‍රසංගයක් නෙමෙයි

● මේ වසර 18ක රේඩියෝ කලාව ගැන මොකද හිතෙන්නේ?

අනෙක් හැමදෙයක් වගේම ඒකත් වෙනස්වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මාධ්‍ය කියන දේ රේඩියෝම විතරක් නෙවෙයි, අනෙකුත් මාධ්‍යනුත් වෙනස් තත්ත්වයන්ට ඇවිල්ලා තියෙනවා. ඩිජිටල් ඇවිල්ලා තියෙනවා සහ තාක්ෂණය තවත් ඉස්සරහට යනවා අනාගතයේ දී. ඉතිං අපි තේරුම් ගත්ත දෙයක් තමයි අපි රේඩියෝ මත්තෙම හිටියොත් සමහරවිට අපිට වෙළෙඳ පොළේ ඉන්න බැරි වෙයි කියන කාරණය. නමුත් අපි ශ්‍රාවකයාට සහ ප්‍රේක්ෂකයාට අවශ්‍ය මොකක්ද කියලා බලලා ඒ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි ඒ ඒ හැටියට වෙනස් වෙනවා. අපිත් ඩිජිටල් පැත්තක් බලලා තියෙනවා. ටෙලිවිෂන් එකක් අලුතින් ඇති කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ දේවල් කොහොම වුණත් අපි අපේ ශ්‍රාවකයන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතා හොඳට හඳුනාගත්තොත් මම හිතනවා අපිට එහෙම අසාර්ථකවෙන්න වෙන එකක් නෑ කියලා.

● වර්තමානය වනවිට රේඩියෝ කලාවට මොනවගේ තැනක්ද තියෙන්නෙ?

රේඩියෝ කියන එකට තවදුරටත් මිනිසුන් ගේ අවශ්‍යතාවයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා වාහනයක යන වෙලාවක දී වුණත් ටෙලිවිෂන් වගේ රූපමය දෙයක් බලන්න අමාරුයි. අනිත් පැත්තෙන් මිනිස්සුන්ට රූපමය පැත්තෙන් ලොකු පීඩනයක් එල්ල වෙනවා, රූපත් එක්ක මේ තියෙන ප්‍රශ්න දිහා බලනකොට පීඩනයකුත් ඇති වෙනවා. සමහරු රූපමය වශයෙන් බැලීමත් අතහැරලා තියෙනවා. අපි ජීවිතේ වුණත් දියුණුවෙලා දියුණුවෙලා බලන්නේ මුලින් පටන් ගත්ත සරල තැන්වලට ආපහු යන්න. ඒ නිසා රේඩියෝ කියන එක මම හිතන්නේ නැතිවෙලා යන්නෙ නැතිවෙයි. එනිසා කොහොමද ඒක ගෙන යන්නේ කියලා හරියට අඳුන ගත්තොත් ඒක නැතිවෙලා යන්නේ නැහැ.

●“අයස්කාන්තය” ප්‍රසංගයටත් තව වැඩි දවසක් නෑ. අපි ඒ ගැනත් කතා කරමු.

ඔව්.“අයස්කාන්තය” ප්‍රසංගය දෙසැම්බර් මස 02 වැනි දා සවස 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙනවා. එහි ගායකයෝ පස්දෙනෙක් ඉන්නවා. ඒ තමයි රූකාන්ත, සංඛ, කීර්ති පැස්කුවල්, සනුක සහ සමිතා. ඇත්තට ම අපේ තේමාව වන්නේ එදා සිට අද දක්වා ජනප්‍රිය වුණ ගායක ශිල්පීන්ගෙන් එකතුවක් පිළිබඳව කරන්නටයි. මේක නිකම්ම සංගීත ප්‍රසංගයක් නෙවෙයි. අපි අලුත් විදියේ අත්දැකීම් මිනිස්සුන්ට ලබාදෙන්නයි උත්සහ කරන්නේ. එදාට සංගීතය පිළිබඳ වෙනම අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි.

● අද වනවිට රේඩියෝ චැනල්වල තිබෙන තරගකාරී බවත් එක්ක කොහොමද රූපවාහිනී චැනල් එකකුත් නැතිව මේ රේඩියෝ චැනල් එක සාර්ථකව පවත්වාගෙන යන්නේ?

ඇත්තට ම මේ තරගකාරී බව පවත්වාගෙන යෑමට නම් අපිට පාරිභෝගිකයෝ අවශ්‍ය වෙනවා. අපට විතරක් නෙවෙයි ඕනෑම කර්මාන්තයක්,ආයතනයක් පවත්වාගෙන යන්න පාරිභෝගිකයෝ අවශ්‍ය වෙනවා. ඉතින් අපි පාරිභෝගිකයාට අවශ්‍ය ඒ දේ හරියට අඳුන ගත්තොත් ඒ අයගේ අවශ්‍යතා පරිදි අපට ඔවුන් අතරේ රැඳී ඉන්නට වගේම ඔවුන් අතර විශාල වශයෙන් ආකර්ෂණයක් ඇති කරගන්නටත් පුළුවන්.

● ඇතැමෙක් කියනවා මේ රේඩියෝ කලාව රටේ සංස්කෘතිය විනාශ කරනවා කියලා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම පළමු වෙනි ම කාරණය තමයි අපේ රටේ සංස්කෘතිය කියලා හිතන් ඉන්නේ මොකක්ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ආපස්සට යනකොට ලෝකයේ සංස්කෘතියත් නැති,ලොකු දීර්ඝ ඉතිහාසයක් නැති රටවල් තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නෙ. එතකොට මේ සංස්කෘතිය ගැන පවා අපට අලුත් විදිහට හිතන්න වෙලා තියෙනවා. නැවත කළ විද්‍යාත්මක සොයාගැනීම් වලත් තියෙන්නේ, අපි සංස්කෘතිය කියලා කරබාගෙන ඉන්නෙ නැතුව බහුවිධ ආගම් සහ ජාතීන් සමග ලෝකයක් වශයෙන් එකතු වෙන්න කියලයි. විශේෂයෙන්ම මේ මාධ්‍ය ආයතන ඒ දේවල් කරන්න ගියාට පස්සේ බොහෝ යල්පැනගිය අදහස් තියෙන අය හිතනවා රටේ සංස්කෘතිය කියන දේට හානියක් වෙනවා කියලා. මිනිසා දියුණු වෙන්න වෙන්න මේ බැමි කඩාගෙන ගිහින් සියලු දෙනාම එකයි කියන තැනට අන්තිමට අපි එකතු වෙන්න ඕනි කියලා තමයි මම හිතන්නේ.

● මේ වසර 18 ට කළ විශේෂ වැඩසටහන් මොනවද?

විශේෂයෙන්ම කියන්න ඕනේ, “බැලුම්ගල වගේ වැඩසටහනකින් අපිට ගොඩක් මෑත කාලයේ තර්ජන පවා ඇවිත් තියෙනවා අපේ මාධ්‍යවේදීන්ට පාතාලේ සම්බන්ධයෙන් කරන එළිදැක්වීම් නිසා. ඒත් එක්කම ඒ වගේ පීරමීඩ් සම්බන්ධයෙන් කළ වැඩසටහන් එක්ක ඒවට නීතිරීති ගේන්න පුළුවන්වෙලා තියෙනවා. තවත් සමහර වංචා, දූෂණ ගැන කතා කරපුවට පාර්ලිමේන්තුවේ පවා නීති රීති වෙනස් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ මොකද අපි හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් එහාට ගිහිල්ලා යම්කිසි ක්‍රියාමාර්ග ගැනීමට තත්ත්වයටම ගිය නිසා. තවත් අපි පසුගිය කාලයේ දිගට ම පාසල් සම්බන්ධයෙන් සංවර්ධනය සහ ළමයින්ගේ නායකත්ව පුහුණුව පිළිබඳත් විශාල වැඩකොටසක් සිදු කළා.

ඉදිරියේ දී කරන්න බලාපොරොත්තුවන විශේෂ වැඩසටහන් මොනවද?

ඉදිරියේ දී සංගීතය සහ කලාව ආශ්‍රිත වැඩසටහන් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙ එකක් තමයි ඉතිහාසය කියන දේ කොහොමද කලාවට ගේන්නෙ කියන දේ. ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙට ම ගෙනියන්න පුළුවන් විදිහට ඒදේ කරනවා. ඒත් එක්කම අපේ යූ ටියුබ් එක වගේම අලුත් රූපවාහිනී නාලිකාවත් ලබන අවුරුද්ද තුළ රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

ආපස්සට හැරිලා බලද්දී මේ රේඩියෝ කලාවෙන් රටට දෙයක් කරලා තියෙනවා කියලා හිතනවද?

ඔව්,ඇත්තටම මං හිතන්නේ විවිධ චෝදනා තිබුණට බොහෝ වෙලාවට රටේ දේශපාලනඥයින්ගෙන්, ඒ වගේම නිලධාරීන්ගෙන් වෙන අකට යුතුකම් සහ සමහර ක්‍රියා නිසා වන හානි නවත්තන්න රේඩියෝ විතරක් නෙවෙයි සියලුම මාධ්‍යයන් යම් පියවරක් අරගෙන තියෙනවා. අද වුණත් ඒ කෙනෙක් වුණත් යම් දෙයක් කරන්න දෙපාරක් හිතල බලන්නේ මේ මාධ්‍යවලින් ඒවා එළිකරයි කියන බයටයි. එහෙම මාධ්‍ය නොතිබුණා නම් අද රට මොන තත්ත්වෙකට පත් වෙයි ද කියන්නත් බැහැ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment