සරසවි දඩයම!

53

රටක බුද්ධිමය සම්පතේ හරස් කඩක් ලෙස සරසවි පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්.

මානව අයිතිවාසිකම්, අධ්‍යාපන අයිතිවාසිකම්, සමාජ අයිතිවාසිකම් පමණක් නොවේ, රටට කිසියම් උවදුරක් පැමිණි විට ඒ පිළිබඳව පවා මැදිහත් වීමේ ප්‍රවණතාවයක් සහ ඉතිහාසයක් මෙරට සරසවි සිසුන්ට තිබුණා.

බොහෝ තීරණාත්මක අවස්ථාවල ඇතැම් බලගතු දේශපාලන පක්ෂ ඒවාට එරෙහිව මැදිහත් නොවන අවස්ථාවලත් සරසවි ශිෂ්‍ය සංවිධාන සහ සරසවි සිසුන් නිර්භීතව ඒ අර්බුදවලට එරෙහිව නැඟීසිටි ඉතිහාසයක් අපේ රටට තිබුණා.

රාජ්‍ය මර්දනය බලගතු ලෙස ක්‍රියාත්මක වුණු අතීතයේ ඒ මර්දනයට එරෙහිව අරගල කළ ඉතිහාසයකින් අපේ රටේ සරසවි කීර්තිමත් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති පුරවැසි අරගලය මොහොතේ මේ රටේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව විසින් කළ අද්විතීය මැදිහත්වීම කිසිවකුටත් අමතක කරන්නට බැහැ.

ලෝක අරගල ඉතිහාසය තුළ අලුත් ප්‍රවණතාවයක් මෙන්ම, අවිහිංසාවාදී ක්‍රියාපිළිවෙතක් හඳුන්වාදීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉකුත් පුරවැසි අරගලය විසින් ලෝකයට හඳුන්වා දුන්නා. එහි සුවිශේෂී පංගුවක් නියෝජනය කළේ මේ රටේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව බව ඇත්තක්.

පසුගිය කාලය මුළුල්ලේ සරසවි සිසුන් විසින් විරෝධතා සහ උද්ඝෝෂණ ගණනාවක් දියත් කළා. එකී සිසු විරෝධතා බොහොමයක් පොලිස් කැරළි මර්දන බල ඇණි සහ සන්නද්ධ සේනාංක යොදවා බිඳ දැමීමට රජය කටයුතු කළා.

සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් බලය ලබා ගැනීමට පෙර අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳව සිත්ගන්නා සුළු පොරොන්දු ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. නමුත් බලය ලබා ගැනීමෙන් අනතුරුව ඒ සියල්ල හිස් කඩදාසි බවට පත්වන අවස්ථා බොහොමයි.

ශිෂ්‍ය අරගල සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඒ සෑම ආණ්ඩුවක්ම දක්වන්නේ අතිශයින්ම රළු ප්‍රතිපත්තියක්.

මේ තත්ත්වය සහමුලින්ම වෙනස් විය යුතු කාලය එළැඹ තිබෙනවා.

ලෝක සරසවි සටන් ඉතිහාසය තුළ බරපතළ ඛේදවාචකයන් රැසක් අපට සොයා ගන්නට පුළුවන්.

1989 අවුරුද්දේ අප්‍රේල් මාසයේ චීන සරසවිවලින් පීඩාව පුපුරා ගියේ එරට සිදුවෙමින් තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව. සටන් පාඨ ලියූ දහසක් සිසුන් බේජිං අගනුවර Tiananmen Square හා ඒ අවට මංමාවත්වලට රොද බැන්දා. හිතුවක්කාර චීන පාලනයේ නොවෙනස් මතධාරී වයෝවෘද්ධ නායකයෝ මේ දරුවන්ගේ හැසිරීම ‘අසංවර’ එකක් සේ සැලකුවා.

ඔවුන්ව මර්දනය කරන්නට එරට බලධාරීන් කටයුතු කළේ ස්වයංක්‍රීය අවි සමඟ යුද ටැංකිත් පෙළ ගැසෙමින්. ජූනි 4 වෙනිදා විනය අහිමි අත්වල සුරැකිව සිටි අවි සිය ගාණක් පත්තු වුණා. සාධාරණ සමාජයක් පැතූ නිරායුද දරුවන්ගේ රතු ලෙයින් චතුරශ්‍රය තෙත් වුණා. පිටුපා යන දරුවන්ගේ පිට පසාරු කරමින් උණ්ඩ පිටවුණා. නිරායුද සමනලුන් හිස්ලූලූ අත පළා ගියා.

මේ බරපතළ ඛේදවාචකය ලෝක ඉතිහාසයේ අන්ධකාර පැල්ලමක් සටහන් කළා.

මේ කාරණාව සිහිපත් වුණේ පසුගිය දා විරෝධතාකරුවන් ඉලක්ක කරගෙන එල්ල කළ රාජ්‍ය මර්දනය නිසයි. විශේෂයෙන්ම සරසවි පද්ධතිය තුළට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඩාවැදීම අතිශයින්ම බරපතළ තත්ත්වයක්.

ඕනෑම රටක අනාගතය තීන්දු වන්නේ ඒ රටේ දැන උගත් ශිෂ්‍ය ප්‍රජාව මතයි.

අනාගතය මෙහෙයවන්නට සිටින්නේත්, අනාගතයට උරුම කියන්නට සිටින්නේත්, අනාගතයට වගකිවයුතු වන්නේත් රටක ශිෂ්‍ය පරම්පරාවයි.

ඔවුන්ට යහපත් රටක් නිර්මාණය කිරීම සියලු බලධාරීන් සහ පාලකයන් සතු වගකීමයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment