කට්ටඩියකුට ජානකී මිලියන 65 ක් දීලා – තිළිණිගේ මුදල් වංචාවලට ආධාර කළ ජානකී රිමාන්ඩ්

1344

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුලී පදනම මත ලබාගෙන ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යමින් සුප්‍රකට දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් කෝටි ගණනින් මුදල් ලබාගෙන වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එම වංචනික ක්‍රියා සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ක්‍රිෂ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි, ජානකී සිරිවර්ධන නැමැත්තිය ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය පසුගිය 5 වැනිදා නියෝග කළාය.

එම සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයට එරෙහිව ඉදිරිපත්වූ චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් තරම්, සාක්‍ෂි ඇති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමෙන් අනතුරුව බවත් ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින්, විමර්ශන නිලධාරීහු පැවැසූහ.

එම මූල්‍ය ගනුදෙනු පිළිබඳව අතීතයේ වැදගත් තොරතුරු රැසක සුලමුල මේ වනවිට අනාවරණය වෙමින් තිබෙන බවත් සමාජයේ ඉහළ පෙළේ වැජඹෙන සුවිශේෂී පුද්ගලයන් රැසක් එම කූට ව්‍යාපාරවල මුදල් යෙදවීමටත්, තවත් විවිධ ආකාරයෙන් සෘජුව හා වක්‍රව මේ සඳහා සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

තිළිණි පියුමාලිගේ වංචනික ක්‍රියාවල, ගොදුරු බවට පත්වූ විශාල පිරිසක්, ඇයට හඳුන්වාදී ඇත්තේ මේ වන විටත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගමක ඉහළ තනතුරක් දරන ජානකී සිරිවර්ධන බවත් ඇගේ රෙකමදාරුව හා පෙළඹවීම මත, එම පුද්ගලයන් කිසිදු චකිතයකින් තොරව තිළිණ පියමාලිට රුපියල් මිලියන ගණනින් මුදල් ලබාදී ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට කියා සිටියහ.

එසේ ලබාගත් මුදලින් සැලකිය යුතු කොමිස් මුදල් තිලිණි පියුමාලි මෙම සැකකාරියට ලබාදී ඇති බවත් සිය වංචා නිරුපද්‍රිතව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ශාන්තිකර්ම සිදු කිරීමට ඒ සදහා සුප්‍රකට එක්තරා පුද්ගලයකුට (කට්ටඬියකුට) රුපියල් මිලියන හැටපහක මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින්, ඒ ඔස්සේද විමර්ශන සිදුකරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

එම සියලු විමර්ශන අවසන්වී නොමැති බවත්, ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බවත්, පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු සැකකාරිය ඇපමත මුදානොහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක ප්‍රධාන නිලයක් දරන සිය සේවාදායිකාව තිළිණි ප්‍රියමාලි සමඟ පමණක් නොව, වෙනත් ව්‍යාපාරිකයන් සමගද සබඳතා පවත්වාගෙන යෑම සාමාන්‍ය දෙයත් බවත්, ඇයට එරෙහිව තිබෙන චෝදනා සම්පූර්ණයෙන්ම හෙළිනොකර තවත් විමර්ශන තිබෙන බව පවසමින්, විමර්ශන නිලධාරීන් උත්සාහ කරනුයේ ඇයට ඇප ලබාදීම වැළැක්වීමට බව ජානකී සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥවරු සිවුදෙනා කියා සිටියහ.

මෙම සැකකාරිය ඇතුළු සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනුයේ නීතිපති උපදෙස් මත බැවින් හා විමර්ශන අවසන්වී නොමැති අවස්ථාවකදී සැකකාරියට ඇප දීමට හැකියාවක් නොමහැකි බව පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය.

එම සැකකාරිය හා මින් පෙර රක්‍ෂිත බන්ධානාගාර ගත කර සිටින ප්‍රධාන සැකකාරිය වන තිළිණි ප්‍රියමාලි සමඟ එකම බන්ධනාගාරයේ රඳවා නොතබන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 1 මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ශිරාස් නුර්දීන් හා නීතිඥ පසන් වීරසිංහ මහතා පළමු වන පැමිණිලිකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment